අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලයි

එළැඹෙන සිංහල – හින්දු නව අවුරුදු සමයේදී රට තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සැපයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය, ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් බිලියන 1.2ක ණය බලාපොරොත්තුවෙන් සිටින බව අද පළ වුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකරයි.

ඒ අනුව ඉන්දියාවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය මුදලක්ද, ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක්ද බලාපොරොත්තුවෙන් සිටින බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූ බව එම පුවත්පත මෙහිදී අනාවරනය කර සිටියි.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් අදාළ රටවල් සමගින් මෙම ණය ලබා ගැනීම සම්බන්ධ එකඟතාවකට පැමිණෙනු ඇති බවත්, ඒ හරහා සහල්,පරප්පු, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ අවස්ථාවක් උදාවනු ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත.

“මෙම ණය පහසුකම් දෙක ඉදිරි මාස හයක කාලයක් සඳහා වන අත්‍යවශ්‍ය භාණ්ඩආනයනය සඳහා ප්‍රමාණවත් වේවි.” අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

පුවත්පත සඳහන් කරන ආකාරයට ඔස්ට්‍රේලියාවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 200ක ණය මගින් මූලිකම පරිප්පු සහ බාර්ලි මිලදී ගැනීමට යොදා ගන්නා බවත් ඉතිරි මුදල් අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් යොදා ගන්නා බව පැවසෙයි. එසේම ඉන්දියානු ණය මගින් ලූනු, අල, පරප්පු සහ ඖෂධ මිලදී ගැනීමත් සැලසුම වී ඇත.

අමාත්‍යවරයාට අනුව මෙම ණය මුදල් ලබාදීම්ද සෑම මාසයකදීම පවතින අවශ්‍යතාව අනුව වාරික ලෙස ලබාගැනීමට ශ්‍රීලංකා රජය සූදානමින් සිටියි.

මීට අමතරව ශ්‍රී ලංකා රජය මගින් දැනටමත් සහල් මෙට්‍රික් ටොන් එකක් ලබා දෙන ලෙස චීනය වෙතින් ඉල්ලීම් කර තිබෙන බවත්, එයද අදියර කිහිපයක් යටතේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයිද වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Visits: 164