බවර් සහ සමාගම අභිමානවත් වසර 125 ක විප්ලවීය ප්‍රගතිය සමරයි

ශ්‍රී ලාංකේය ජන සමාජයේ ආර්ථිකමය සහ සමාජීය පරිවර්තනයකට සෘජුව දායකවූ බවර් සහ සමාගම මෙම වසරේදී සිය වසර 125ක ජයග්‍රාහී ගමන සමරනු ලබයි.

සම්පුර්ණයෙන්ම ස්විස්ටර්ලන්ත පදනමක් යටතේ පාලනය වන මෙම සමාගම එම සම්ප්‍රදායන් සහ වටිනාකම්අපගේ සම්ප්‍රදායන් සහ වටිනාකම් සමඟ මනාව මුහු කරමින් දිනෙන් දින කැපීපෙනෙන වර්ධනයක් සහ ප්‍රගතියක්  අත් කර ගනිමින් සිටී.

ඇල්ෆ්ර්ඩ් බවර් මහතා විසින් 1897 වසරේදී කුඩා පරිමාණ පොහොර කර්මාන්තශාලාවක් ලෙස ආරම්භ කරන ලද බවර් සහ සමාගම අද වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පමණක් නොව සෞඛ්‍ය සේවා, පාරිභෝගික භාණ්ඩ, ගුවන් සේවා, යන්ත්‍රෝපකරණ සහ හෝටල් පුහුණු පාසල් යන විවිධ අංශයන්හි විහිදී ගිය අතුපතර ඇති සුවිසල් ව්‍යාපාරික වෘක්ෂයක් බවට පත්ව සිටී.

තම සම්ප්‍රදායන් ආරක්ෂාකර ගනිමින් නව ලොව තාක්ෂණය හා දැනුම ඒ හා මනා ලෙස මුසු කරමින් සවිමත් වූ ඉදිරි සැලසුම් සමඟින් නිරන්තර කටයුතු කිරීම මෙම තිරසර ව්‍යාපාරික ගමන් මඟේ දැවැන්ත ශක්තිය බව නොරහසකි.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ හද ගැස්ම කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික සංස්කෘතියක් පෙරටු කරගත් බවර් සහ සමාගම, අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දෙමින් කාලයට ඉදිරියෙන් ගමන් කරන, සමාජය තුළ තම වගකීම මනා ලෙස හඳුනාගත් සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

ආරම්භයේ සිටම පොහොර නිෂ්පාදනයේ පුරෝගාමියා වෙමින්,1901 දී තම නිෂ්පාදන පරිශ්‍රය දුම්රිය මාර්ග පද්ධතියට සම්බන්ධ කළ රටේ ප්‍රථම පෞද්ගලික ආයතනය වීම, 1919 දී කෘෂිකර්මාන්තයේ භාවිතය සඳහා පළමු ට්‍රැක්ටරය ලංකාවට ගෙන්වීම,1936 දී ප්‍රථමවරට පූර්ණ විදුලි බලය භාවිතයෙන් ක්‍රියාත්මක වන තේ කර්මාන්තශාලාව පිහිටුවීම, 1946 දී ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගතය මර්ධනය කිරීමට අවශ්‍ය ඖෂධ ගෙන්වීම, ස්විස් එයාර් සමාගම ශ්‍රී ලංකාවට හඳුන්වාදීම, 1975 දී ප්‍රථම වරට දේශීය බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම, සේනා දළඹුවා තුරන් කිරීම සහ එය පාලනය කිරීම සඳහා 2020 දී පළමු ජෛව පළිබෝධනාශක ලියාපදිංචි කිරීම සහ පසුගිය වසරේ ලොව ප්‍රථම සහ අංක එකේ සත්කාරක කළමනාකරණ පාසල වන Ecolehôtelière de Lausanne සමඟ එක්ව ආගන්තුක සත්කාර අංශයේ පළමු ස්විස් ආධුනිකත්ව පාසැල් ආකෘතිය එළිදැක්වීම යනාදී සුවිශේෂී මඟ සලකුණු සටහන් කරමින් ‘බවර්ස් නාමය’ ව්‍යාපාරික ලොව බබලවන්නට, සිය 125 වසරක අභිමානවත් ගමන් මඟ තුළ සමත්වීම සුවිශේෂී කාරණාවකි.

සී/ස. බවර් සහ (පුද්ගලික) සමාගමේ හි ප්‍රධාන විධායක නිලධාරී රෝල්ෆ් බ්ලාසර් මහතා විසින් 125වන සංවත්සරය පිළිබඳව මෙසේ සිය අදහස් පැවසීය.”පසුගිය වසර 125 තුළ බවර් ආයතනයෙහි සාර්ථකත්වය වෙනුවෙන් දායකවූ සෑම පුද්ගලයෙකුටම අපි ප්‍රශංසා පුද කර සිටිනවා. විශේෂයෙන්ම දේශයේ යහපත වෙනුවෙන් කේන්ද්‍රගත කර වූ මෙම සමාගම විශ්වාසවන්ත භාවය, වගකීම සහ දූරදර්ශී නායකත්වයක් හෙබවූ අපගේ නිර්මාතෘ ඇල්ෆ්ර්ඩ් බවර් මහතාගේ සංකල්පයන් අපගේ පදනම තුළ සහ වටිනා සාරධර්ම තුළ ගැඹුරින් මුල් බැස ගෙන තිබෙනවා. අපි අපගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කර ඇති අතර අපගේ සීමාවන් අඛණ්ඩව පුළුල් කර ගැනීම සඳහා බොහෝ අභියෝග භාර ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා.”

බවර් සහ සමාගම වර්තමානයේ පෞද්ගලික අංශයේ කෘෂි ක්ෂේත්‍රයේ නියමුවා ලෙස ඉහළ වෘත්තීය සහ විද්‍යාත්මක මඟ පෙන්වීම හරහා දැනුම උකහා  ගනිමින් සාර්ථක වූ නායකත්ව භූමිකාවක් ක්‍රියාත්මක කරමින් සිටී. පසුගිය වසරේ අග භාගයේදී බවර් ආයතනයකාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ගෝලීය මට්ටමේ කීර්තිමත් පර්යේෂණ ආයතන දෙකක් සමඟ ගිවිසුම්ගතව එම ආයතන සම්බන්ධ කර ගනිමින් පොහොර අභියෝගය සඳහා මුහුණ දිය යුතු හොඳම ආකාරය පිළිබඳ පුළුල් අධ්‍යයනයක්  සඳහා එහි ප්‍රධාන විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමට කටයුතු කරන ලදී. ඒ හා සම්බන්ධයෙන් කර්මාන්ත සහ ශාස්ත්‍රීය යන දෙඅංශයෙහිම සියලුම ප්‍රධාන හවුල්කරුවන් සහ සහභාගීවන්නන් අතර නිරන්තරව කරනු ලබන සංවාද ඇතුළුව ප්‍රවීණයන් සමඟ එක්ව මූලික පර්යේෂණ සහ සොයාගැනීම්වල දත්ත සමඟින් තවදුරටත් ගවේෂණය කරමින් සිටියි.

සමාගම සිය ආරම්භක කෘෂි ව්‍යාපාරයේ ශක්තිමත්ව රැඳෙමින්, මුළු දකුණු ආසියාවේම ඇති වඩාත්ම දියුණු අධි තාක්‍ෂණික පොහොර කර්මාන්තශාලාවලින් එකක් බවට පත්වීමට මේ වන විට සමත් වී ඇත. එපමණක් නොව සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු සමස්ත සැපයුම් දාමයේ කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එහි පාරිභෝගික අංශය සඳහා ඩිජිටල් තාක්ෂණය මුසු කරමින් සිය සේවාවන් ලබා දීමට සමත්වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

එහි සෞඛ්‍ය සේවා අංශය වසර ගණනාවක් පුරා කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, අද වන විට ඖෂධ, ශල්‍ය සහ රෝග විනිශ්චය, පෝෂණ ද්‍රව්‍ය, රූපලාවණ්‍ය, ශාකසාර සහ ආයුර්වේද යන ක්ෂේත්‍රවල ගෝලීය ප්‍රමුඛයන් 10 දෙනාගෙන් බහුතරයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ඖෂධ ආනයනකරු බවට පත්වී ඇත. බවර් සහ සමාගම මෙම ක්‍රියාවලිය තුළ සියළුම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව තම ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබයි. 1946දී මැලේරිය මර්ධන ඖෂධ ලබාදුන් බහුජාතික සමාගම අද වන විටත් බවර් සහ සමාගම සමඟ සාර්ථක ලෙස ගණුදෙනු කිරීම මේ සඳහා කදිම නිදසුනකි.

සමාගමේ වර්ධනය වන සබඳතා සහ දිගු කාලීන හවුල්කරුවන්ගේ විශ්වසනීයත්වය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදන සඳහා ඇති නැඹුරුව එහි සාර්ථකත්වය සඳහා මූලික ලෙස බලපා ඇත. තිරසර භාවය බවර් ආයතනයෙහි ප්‍රධාන ප්‍රමුඛතාවය වන අතර එහි ගමන් මඟ පුරාවට නොයෙකුත් වගකීම් සහගත නවෝත්පාදනයන් පමණක් නොව, ඒ තුළ ජනතාව කෙරෙහි ඇති කරවනු ලැබූ ප්‍රතිපත්ති සහ සාරධර්ම ද රැඳී පවතී. පසුගිය වසර ආරම්භයේදී, තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) 17 හඹා යාමට අමතරව මානව හිමිකම්, ශ්‍රමය, පරිසරය සහ දූෂණ විරෝධී ක්ෂේත්‍රවල UN Global Compact (UNGC) මුලපිරීම සඳහා බවර් ආයතනයකැපවීමෙන් ක්‍රියා කළේය.

Visits: 107