දකුණු ඇමෙරිකාවේ සිට ආසියාව දක්වා ඔරුවක් පැද ගිය කාර්ලිස් ලංකාවේ ගාල්ලට

දකුණු ඇමෙරිකාවේ සිට ආසියාව දක්වා ඔරුවක් පැද ගිය පළමුවැන්නා බවට පත් වූ 37 හැවිරිදි ලැට්වියානු ජාතික කාර්ලිස් බාර්ඩ්ලෙයිස් ඊයේ (02දා) ශ්‍රී ලංකාවේ ගාල්ල වරාය වෙත ළගා විය.

සිය ගමනෙන් අනතුරුව ඉදිරි ආසියානු සංචාරයේ තවත් එක් නැවතුම්පලක් ලෙස කාර්ලිස් මෙලෙස ගාලු වරාය වෙත සේන්දු වී තිබේ. මෙහිදී ඔහු පිළිගැනීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා අතින් සිදුව තිබේ.

කිසිදු යාන්ත්‍රික බලයකින් තොරව සිය ශක්තියෙන්ම කාර්ලිස් මෙම බෝට්ටුව පැද යාම විශේෂත්වයයි. 2018 වසරේ ජූලි මාසයේදී පේරු රාජ්‍යයේ ලා පුන්ටා වරායෙන් කාර්ලිස් සිය ගමන ඇරඹීය. එහිදී කිසිදු ගොඩබිමක් නොමැති පැසිපික් සාගරය හරහා ඔහු අග්නිදිග ආසියාව වෙත සිය බෝට්ටුව පැදගෙන ඒම සිදුවිය.

ඒ අනුව වසරකුත් මාස 11කට පසුව එනම් දින 715කට පසුව 2020 වසරේදී ඔහු මැලේසියාව වෙත පැමිණීමට සමත්විය. එතෙක් මෙතෙක් දකුණු ඇමෙරිකාවේ සිට ආසියාව වෙත බෝට්ටුවකින් යාත්‍රා කළ පළමු පුද්ගලයා බවටද ඔහු පත්විය.

එහි සිට ඔහු සිය ගමන යළිත් ආරම්භ කිරීමට සැලසුම් කළද පැවැති COVID-19 වසංගත තත්ත්වය නිසා එය සාර්ථක වී නැත. ඒ අනුව ඔහු ආසියාව හෝ අප්‍රිකාව වටා යාමට හෝ ඉන්දියානු සාගරය හරහා යාත්‍රා කිරිමට තීරණය කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු එම ගමනේ එක් ස්ථානයක් ලෙස මෙලෙස ලංකාවට පැමිණ තිබේ.

මීට පෙර ඔහු 2016 වසරේදී නැමීබියාවේ සිට දකුණු අත්ලානික් සාගරය හරහා බ්‍රසීලය වෙත යාත්‍රා කිරීමටත්, අනතුරුව 2018 දී එහි සිට පේරු දක්වා පාපැදියක් මගින් සංචාරය කිරිමටත් ඔහු කටයුතු යොදා තිබේ. මෙම බෝට්ටුවේ නැගී පේරු සිට ආසියාව වෙත ඔහු ගමන් අරඹා ඇත්තේ ඉන් පසුවයි.

Visits: 130