ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිර්මාණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් Rootcode Studio එළිදකියි

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Rootcode Labs සමාගම, මෙරට මෘදුකාංග ක්ෂේත්‍රයේ දක්ෂතා ගෝලීය තලයට ඔසවා තැබීම අරමුණු කරගනිමින් සිය නවතම අනුබද්ධිත සමාගම වන Rootcode Studio පසුගියදා එළිදැක්වීය.

ජනවාරි 29 වැනිදා කොළඹ මූවන්පික් හෝටලයේ මොන්ට් බ්ලැක් බෝල්රූම් ශාලාවේ පැවැති මෙම උත්සවයට දිවයිනේ තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්‍රයේ නම දිනූ ප්‍රකට පුද්ගලයෝ  කිහිපදෙනෙක් ද සම්බන්ධ වූහ.

සිය සන්නාම සහ අදහස් වර්ධනය කිරීමේදී විශිෂ්ට මෘදුකාංග නිර්මාණ සැලසුමක ඇති වැදගත්කම පිළිබඳව ව්‍යාපාර ආයතනවලට අවබෝධ කරදීම,Rootcode Studio හි මූලික අභිප්‍රාය වේ. මේ දක්වා Rootcode මගින් විවිධ ව්‍යාපාරවලට ජංගම සහ වෙබ් යෙදවුම්, කෘතිම බුද්ධි (AI)විසඳුම්, Scalable Minimum Viable Products (MVPs), නිර්මාණ සැලසුම් නිෂ්පාදන සහ මූල් ආකෘති මෙන්ම මෘදුකාංග ගුණාත්මකභාවය විගණනය හරහා ද සහාය වී තිබේ.

තව ද සමාගම සතු දක්ෂ UI/UX නිර්මාණ සැලසුම්කරුවන්, නිෂ්පාදන සැලසුම්කරුවන්, නිර්මාණ උපදේශකයින්, ක්‍රමෝපාය ප්‍රවීණයින් හ නිර්මාණ ශිල්පීන්, තමන්ට ලැබෙන සෑම ව්‍යාපෘතියක් වෙනුවෙන්ම සාම්ප්‍රදායික විසඳුම් සම්පාදනයෙන් ඔබ්බට ගොස් ව්‍යාපාර අපේක්ෂාවන්ට නිවැරදිව ගැලපෙන මෘදුකාංග නිෂ්පාදන එළිදැක්වීමට සැදීපැහැදී සිටියි.

විශේෂයෙන්ම මෘදුකාංග භාවිත කරන්නන්ට වැඩි පහසුවක් අත්වන ආකාරයට මෙන්ම ව්‍යාපාරික ආයතන සහ ඒවායේ සන්නාමවලට වඩාත් ගැලපෙන සහ ආවේණික ආකාරයට UI/UX නිර්මාණ සැලසුම් ඉදිරිපත් කිරීමට  එහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.

එම ක්‍රියාවලියේදී පළමුව, අදාළ මෘදුකාංග යෙදවුම භාවිත කරන පුද්ගලයාගේ කෝණයේ සිට විමසීමක් සිදුකෙරේ. භාවිත කරන්නාගේ අපේක්ෂාව සහ මානසිකත්වය සහ පර්යේෂණ ප්‍රතිඵල යනාදී සියල්ල එහිදී සැළකිල්ලට බඳුන් වේ. දෙවැනි අදියර වන්නේ, මෘදුකාංග නිර්මාණය කිරීමේ කණ්ඩායම සහභාගී කරගනිමින් නිර්මාණ සැලසුමට අදාළ සෙසු සැළකිලිමත් විය යුතු කාරණා විමසා බැලීමයි. තෙවැනුව, විවිධ පැතිකඩ ඔස්සේ විසඳුම් පරාසයක් ඉදිරිපත් කිරීම සිදුකෙරේ.

ඊට අමතරව, වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීම අරමුණු කරගත් UX පිළිබඳ වෙන් වෙන් වශයෙන් උපදේශන සේවා ලබාදීම, නිර්මාණ සැලසුම්කරණය පිළිබඳ වැඩමුළු හරහා සේවාදායක පාර්ශ්වයේ කණ්ඩායම් UI/UX පිළිබඳ දැනුවත් කිරීම, නව ව්‍යාපාර සඳහා යෝග්‍ය  ක්‍රමෝපාය සහ MVP පිළිබඳ දැනුවත් කිරීම, අවබෝධ කරගැනීමට පහසු සහ නැවත භාවිත කළ හැකි නිර්මාණ සැලසුම් පද්ධති වැඩිදියුණු කිරීම ආදී කාර්යයන් ද  Rootcode Studio හි විෂය පථයට අයත් වේ.

ඉකුත් වසර මුලදී ව්‍යාපාර මුහුණ දෙන විවිධ බාධක සහ සංකීර්ණ ගැටලුවලට කෘතිම බුද්ධි පාදක (AI) විසඳුම් සැපයීම වෙනුවෙන් Rootcode AI එළිදැක්විණි. එතුළින්, පරිගණක දැක්ම, ස්වභාවික භාෂා ක්‍රියාවලිය, ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රශස්තකරණය, විෂමතා හඳුනාගැනීම, බුද්ධිමය දත්ත ක්‍රියාවලිය සහ විශ්ලේෂණ, සංකීර්ණ ලේඛන සැකසුම්, වියමන් (text) හඳුනාගැනීම ආදී විවිධ කාර්යයන් සඳහා නවීනතම තාක්ෂණය භාවිත කිරීමේ අවස්ථාව සේවාදායකයින්ට හිමිවිය.

මේ අනුව ගත්කල, ඉතා කෙටි කාලසීමාවක් තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්කරගැනීමට Rootcode සමත්ව තිබේ. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගත් Rootcode හි ආයතනික කාර්යාල එස්තෝනියාව, අමෙරිකා එක්සත් ජනපදය (සැන් ෆ්‍රැන්සිස්කෝ) යන රටවල ද පිහිටා ඇත. Rootcode මගින් නිපදවෙන මෘදුකාංග නිෂ්පාදන යුරෝපය, අමෙරිකා එක්සත් ජනපදය සහ ආසියාව යන පුළුල් වෙළෙඳපොළවල් කරා යොමු කෙරේ. එහි සේවාදායකයින් අතර නව ව්‍යාපාර මෙන්ම නිව්යෝක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පොදු සමාගම් පවා වේ. මෘදුකාංග නිෂ්පාදනය ඔස්සේ මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 240ක පමණ ආදායමක් ජනනය කිරීමට ද සමාගම සමත්ව සිටියි.

Visits: 82