කැලනි ටයර්ස් රු. බිලියන 3.2ක ආයෝජනයකින් සිය නිෂ්පාදනය ඉහළ නැංවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැලනි ටයර්ස් පීල්සී සමාගම සිය නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා විශේෂිත ප්‍රාග්ධන වියදමක් ලෙස රුපියල් බිලියන 3.2ක මුදලක් ආයෝජනය කිරීමට තීරණය කර ඇතැයි පවසයි.

පසුගිය ජනවාරි 27 වැනිදා CEAT-Kelani ඒකාබද්ධ සමාගම්හි අධ්‍යක්ෂවරුන් අතර පැවැති හමුවකදී මේ පිළිබඳව තීන්දුව ගනු ලැබූ බව කැලනි ටයර්ස් පීල්සී සමාගම අද දිනයේදී ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම ආයෝජනය යටතේ දැනට මාසයකට සිදු කරන මගී කාර් රථ/SUV/UV සහ සැහැල්ලු වෑන් රථ සඳහා වන ලෝහ පටියක් සහිත රේඩියල් ටයර් නිෂ්පාදනය 51,000 සිට  61,000ක් දක්වා ඉහල නැංවීමක් සිදුවනු ඇතැයි කැලනි ටයර්ස් පීඑල්සී සමාගම පවසයි.

එසේම යතුරුපැදි/ස්කූටර් ටයර් නිෂ්පාදන හැකියාව මාසයකට ටයර් 41,000 සිට 57,000ක් දක්වා ඉහළ නැංවීමටත් මෙම මුදල් ආයෝජනය උපයෝගී කරගන්නා බවද සමාගම වැඩිදුරටත් පවසයි.

මීට අමතරව එම ආයෝජනය හරහා දැනට පවතින සිය නිෂ්පාදන යන්ත්‍රෝපකරණ වෙනුවට නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර ස්ථාපිත කරමින් සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවත්, ඒ හරහා ජාත්‍යන්තර මට්ටමේ උසස් ගුණාත්මකබවකින් යුත් ටයර් නිෂ්පාදනය සඳහා සිය කර්මාන්තශාලා සූදානම් කරන බවටත් සමාගම පවසයි.

මේ අතර අගල් 17 රිම් ප්‍රමාණය මෙන්ම ඊට ඉහළ අගයක් ගන්නා කාර් සහ SUV රථ සඳහා අවශ්‍ය ටයර් නිෂ්පාදනය පුළුල් කිරීමක් සිදු කරන බවත් සමාගම සඳහන් කරයි.

එසේම H & Higher මාදිලියේ අධිවේගයක් සහිත ටයර් නිෂ්පාදනයට සහ ඉහළ සමස්ත කාර්යසාධනයක් සහිත ටයර් නිෂ්පාදනය සඳහාද මෙම ආයෝජනය යොදා ගන්නා බවත් සමාගම පවසයි.

ඒ අනුව ඉහත සඳහන් කළ මෙම ආයෝජනය හරහා සහ ඉදිරියේදී සිදුකරන තවත් ආයෝජන හරහා මාසයකට සමාගමමගින් සිදු කරන මගී කාර්/SUV/UV සහ සැහැල්ලු වෑන් රථ ටයර් නිෂ්පාදනය ලක්ෂයක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් සමාගම විශ්වාසය පළ කරයි.

Visits: 355