INSEE සිමෙන්ති සමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් අගයයි

INSEE සිමෙන්ති සමාගම වසර 20කට අධික කාලයක් සේවය කරන සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන්ම සංවිධානය කළ සම්මාන උළෙලක් 2021 නොවැම්බර් 26 වන දින හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හෝටලයේදී සියලු ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

මෙම සම්මාන උළෙලේ දී INSEE සිමෙන්ති සමාගමේ ජ්‍යේෂ්ඨ සේවක සේවිකාවන් 20 දෙනෙකු ඇගයීමට ලක් වූ අතර, එහි දී ඔවුන්ට රන් පවුම බැගින් පිරිනැමිණි. සම්මානලාභී සේවක සේවිකාවන්ගෙන් 19 දෙනෙකු වසර 21 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, එක් සේවකයකු INSEE සිමෙන්ති සමාගමේ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

INSEE සිමෙන්ති සමාගමේ පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවෙහි 12 දෙනෙකු, රුහුණු සිමෙන්ති කර්මාන්තශාලාවෙහි 4 දෙනෙකු සහ කොළඹ කාර්යාලයට අනුයුක්තව සේවය කරන 4 දෙනෙකු මෙසේ සම්මාන ලබා ගත්හ.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා පැවසුවේ මෙවන් අදහසකි. “ඉතා දක්ෂ හා පළපුරුදු සේවක මණ්ඩලයක් අපට සිටිනවා. දශක 5කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ඔවුන් සිදු කළ කැපවීම ඉතා විශේෂයි. INSEE සිමෙන්ති සමාගම පිරිණැමූ ජ්‍යෙෂ්ඨත්ව සම්මාන මගින් මෙම ජ්‍යේෂ්ඨ සේවකයින් පිළිබඳව සමාගම තුළ තිබෙන පිළිගැනීම සහ ගෞරවය සංකේතවත් කරනවා. ඔවුන්ගේ කැපවීම සහ ආයතනයට ඇති පක්ෂපාතීත්වය ඇගයීමට ලක් කිරීමට හැකි වීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. ඒ වගේ ම INSEE සිමෙන්ති සමාගම සමග අත්වැල් බැඳගෙන සිටින ඔවුන්ගේ අනාගතය වඩාත් ස්ථාවරයි කියන කරුණ මට විශ්වාසයෙන් පැවසිය හැකියි.”

මෙවර, නිෂ්පාදන, ඇසුරුම්කරණ, අලෙවිකරණ, ප්‍රසම්පාදන හා සැපයුම්, නඩත්තු සහ තත්ත්ව සහතික යන අංශවල සේවයෙහි නියුතු සේවක සේවිකාවන් INSEE ජ්‍යෙෂ්ඨත්ව සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

Visits: 77