2021 වසරේදී අපනයන ආදායමේ 23% ක වර්ධනයක්

ශ්‍රී ලංකාව 2021 වසරේදී භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 15.1ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34ක භාණ්ඩ හා සේවා අපනයන ආදායම හා සසඳන විට 23% ක වර්ධනයකි.

අද දහවල් අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය. 2021 වසරේ අපනයන කාර්යසාධනය පිළිබඳව හෙළිදරව් කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි.

මේ අතරින් භාණ්ඩ අපනයනය හරහා රැස් කරගෙන ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 12.5ක් ලෙස වාර්තා වී තිබේ. එය එතෙක් මෙතෙකත් ඉතිහාසයේ වැඩිම භාණ්ඩ අපනයන ආදායම බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එය 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි.

මේ අතර 2021 වසරේ මාස 8 ක් තුළදීම මාසික වෙළෙඳ අපනයන ආදායම එක්සත් ජනපදප ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයක් බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි.

මෙහිදී අදහස් දක්වා සිටි වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා, “ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1 ක් උපයා ගනිමින් අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟා වීම පිළිබඳව අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරනවා.” යනුවෙන් පවසා සිටියේය.

එහිදී රටේ ශ්‍රම බලකාය සඳහා කඩිනමින් එන්නත් ලබාදීමේ රජයේ තීරණයත් සමඟ කර්මාන්තකරුවන් වෙහෙස මහන්සිවී වැඩ කිරීම සහ ඔවුන්ගේ කැපවීම මේ වන විට සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 2,64 ක් ලෙස වාර්තා වී තිබේ. එය 2020 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 15.75% කින් ඉහළ යාමකි.

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන, තොරතුරු තාක්ෂණ සේවා/ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ සේවා (ICT/BPM), ඉදිකිරීම් සේවා, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ යටිතල පහසුකම්වලින් සමන්විත වේ.

2021 වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සංශෝධිත අපනයන පුරෝකථනය ඇමෙරිකානු ඩොලර් බිලියන 15.72ක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ප්‍රකාශ කර තිබුණි. ඉන් ඩොලර් බිලියන 12.14ක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන්ද, ඇමෙරිකානු ඩොලර් බිලියන 3.58ක් සේවා අපනයනවලින්ද අපේක්ෂා කරන ලදි.

ඒ අනුව 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඇස්තමේන්තුගත සේවා දත්ත ඇතුළුව අපනයන ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.12ක් වාර්තා කර ඇති අතර සංශෝධිත අපනයන ඉලක්කයෙන් 96.2%ක් ලබාගෙන ඇතැයිද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මීට අමතරව 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන ඉපැයීම් පිළිවෙළින් සංශෝධිත අපනයන ඉලක්කයන්ගෙන් 102.78% සහ 73.88%ක් ලබා ගෙන ඇතැයිද එම මණ්ඩලය පෙන්වා දෙයි.

Visits: 77