අඩුමිල ස්මාට්ෆෝනයක් සහ 5G සඳහා Google සමාගම Airtel හි ඩො. බිලියනයක ආයෝජනයකට සැරසෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික දැවැන්තයෙකු වන Google සමාගම ඉන්දියාවේ Airtel සමාගම තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

ඉන්දියාව තුළ අඩුමිල ස්මාට්ර්ෆෝන් උපාංගයක් හඳුන්වා දීම සහ 5G තාක්ෂණය වෙනුවෙන් මෙම ආයෝජනය සිදු කෙරෙන බව සඳහන් වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ආයෝජනය යටතේ ඩොලර් මිලියන 700ක මුදලක් Airtel සමාගමෙහි කොටස් තුළ ආයෝජනයට Google සමාගම සූදානමින් සිටියි. එහිදී කොටසක් ඉන්දියානු රුපියල් 734ක් යටතේ මිලදී ගන්නා බව සඳහන් වෙයි. ඉතිරි ඩොලර් මිලියන 300ක මුදල එයාර්ටෙල්හි අනෙකුත් ව්‍යාප්ත කිරීම් ඇතුළු වාණිජ එකඟතාවන් තුළ ආයෝජන කෙරෙන බව සමාගම් දෙකම පවසයි.

මේ අතරින් ඩොලර් මිලියන 700ක් වටිනා Airtel සමාගමේ කොටස් Google සමාගම මගින් මිලදී ගැනීම පිළිබඳ අනුමැතිය ඊට අදාළ නියාමකයන්ගෙන් ඉදිරි මාස කිහිපයේදී හිමිවනු ඇතැයිද සඳහන් වෙයි.

දැනට වසර දෙකකට පමණ පෙරාතුව Google සමාගම සිදුකළ අනාවරණයකට අනුව එම සමාගම මගින් ඉදිරි වසර පහත් හතත් අතර කාලයේදී ඉන්දියාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක මුදල් ආයෝජනයක් සඳහා සූදානමින් සිටින බව පවසා තිබුණි.

Visits: 531