සුවිශේෂී නව ගිණුම් සහ සේවාවන් සමඟින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාව එළිදක්වයි

කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ගේ අභිලාෂයන්ට සහාය වීම වෙනුවෙන්ම සැලසුම් කර ඇති වඩාත් පුළුල් නව සේවාවන් මාලාවක් යටතේ, නව ණය යෝජනා ක‍්‍රමයක් ද ඇතුළත් ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව එළිදක්වා ඇතැයි පවසයි.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වන ලද ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව දැනට පවතින ‘අනගි කාන්තා ඉතිරිකිරීමේ ගිණුම’ සහ අලූතින් හඳුන්වාදුන් ණය ක‍්‍රමයක් වන ‘කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන්’ සඳහා වෙන් වූ ‘අනගි ව්‍යාපාර ණය’ ක‍්‍රමයෙන් සමන්විත වන අතර අනාගතයේදී තවත් නව නිෂ්පාදන සහ සේවා හඳුන්වාදෙන බව බැංකුව පවසයි.

IFC-DFAT Women in Work වැඩසටහන යටතේ ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් කෝපරේෂන් (IFC) සමඟ සහයෝගයෙන් මෙම සේවාව නිර්මාණය කර ඇත. වැදගත් නමුත් අඩු වශයෙන් අවධානයට ලක් වූ අංශයක් වන ‘කාන්තාවන් සඳහා මූල්‍යකරණය’ට වැඩි ප‍්‍රවේශයක් ලබා දීම සඳහා එම වැඩසටහන සතු විශේෂඥ දැනුම භාවිතා කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් සඳහා වන ‘අනගි ව්‍යාපාර ණය’, කාන්තා ව්‍යවසායකයන්ට කාරක ප‍්‍රාග්ධනය හෝ ආයෝජනයන් වෙනුවෙන් ණය ලබා දේ. කාන්තා ව්‍යාපාර හිමිකරුවන් සහ කාන්තා ව්‍යාපාරික හවුල්කරුවන් හෝ අධ්‍යක්ෂවරුන් සහිත ව්‍යාපාර සඳහා පමණක් විශේෂිත මෙම ණය යෝජනා ක‍්‍රමය මඟින් අයදුම්කරුවන්ට, රුපියල් මිලියන 2 සිට රුපියල් මිලියන 250 දක්වා, තරඟකාරී පොලී අනුපාත යටතේ සහ නම්‍යශීලී සහන කාල සීමාවන් සමඟ ණය ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙම ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසුවේය; ”අනගි කාන්තා බැංකුකරණය දියත් කිරීම, ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වඩා නියෝජනය කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි. අපට රට තුළ සියලූ දෙනා අන්තර්ගතවන ආර්ථික ප‍්‍රගතියක් අත්විඳීමට නම් ඔවුන්ට නිසි පිළිගැනීම, අවධානය සහ අවශ්‍ය මූල්‍ය ආධාර ලැබිය යුතුය.”

මෙම නව්‍ය සැලසුම පිළිබඳව අදහස් දක්වමින් IFC හි ශ‍්‍රී ලංකා සහ මාලදිවයිනේ වැඩබලන කළමනාකරු වික්ටර් ඇන්ටනිපිල්ලේ මෙසේ පැවසුවේය. ”ආර්ථික වර්ධනය සඳහා කාන්තා ව්‍යවසායකයන් මත ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ. ශ‍්‍රී ලංකාවේ, කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ ව්‍යාපාර මිලියනයෙන් හතරෙන් එකක් කාන්තාවන් සතු වීම, එය තීරණාත්මක වෙළෙඳපොළ අංශයක් බවට පත් කරයි. ශ‍්‍රී ලංකාවේ සිටින IFC හි දීර්ඝකාලීන හවුල්කරුවෙකු වන කොමර්ෂල් බැංකුව සමඟ ‘අනගි කාන්තා බැංකුකරණ’ වැඩසටහන දියත් කිරීම, කාන්තාවන්ට අයත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඇති මූල්‍ය ප‍්‍රවේශය ශක්තිමත් කිරීමට සහ වසංගතයෙන් එල්ල වන අභියෝග ජය ගනිමින් ඔවුන්ගේ තිරසාර පැවැත්මට සහ වර්ධනයට උපකාරී වනු ඇත.”

Visits: 44