ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සතු දේපළ තුනක් SMBL වෙත පැවරීමට මහ බැංකුව අනුමැතිය

අර්බුදයට ලක්ව බලපත්‍රය අහෝසි වී ඇති  ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගම සතුව ඇති දේපළ තුනක් SMB ලීසිං පීඑල්සී සමාගම වෙත පැවරීම සම්බන්ධයෙන් වන අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් පියවර ගෙන ඇතැයි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගම පවසයි.

අද (27දා) දිනයේදී එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගම මගින් සිය තැන්පත්කරුවන් වෙත ගෙවීමට නියමිතව ඇති රුපියල් මිලියන 425ක (425,322,569.49ක) මුදලක් ගෙවීම සම්බන්ධ එකඟතාවක් යටතේ මෙම දේපළ පැවරීම සිදු කෙරෙන බව සඳහන් වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය දෙසැම්බර් මාසයේ 15 වැනිදා එවන ලද ලියුමක මෙම අනුමැතිය පිළිබඳව සඳහන්ව ඇතැයි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගම සතු මහනුවර අන්ගුනාවල, ගංගාතැන්නවත්ත පිහිටි පර්චස් 195.85ක හිස් ඉඩමක්, ගල්කිස්සේ ඩී අල්විස් ඇවනියු හි අංක 10 ස්ථානයේ පිහිටි පර්චස් 46.02ක ඉඩමක් සහ ගොඩනැගිල්ලක් සහ ජා-ඇල රියැලිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ කඩසාප්පු තුනක් මෙලෙස SMB ලීසිං සමාගම වෙත පැවරීමට අනුමැතිය හිමිව ඇත.

අර්බුදයට ලක්ව තිබෙන මූල්‍ය සමාගම් ඉන් මුදවා ගැනීමේ මහ බැංකුවෙහි මූලික සැලසුම යටතේමෙලෙස ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් පීඑල්සී සමාගමේ ගනුදෙනුකරුවන් පිළිබඳ වගකීම SMB ලීසිං පීඑල්සී වෙත පැවරීමට කටයුතු යෙදී තිබේ.

SMB ලීසිං සමාගම පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදා මේ පිළිබදව පළමුවරට කොළඹ කොටස් හුවමාරුව වෙත අනාවරණය කළ අතර, එහිදී ඔවුන් යම් මූල්‍ය සමාගමක දේපළ පැවරීමක් පිළිබඳව සඳහන් කර තිබුණද, එය ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගම බව සඳහන් කර නොතිබුණි.

1992 වසරේදී පිහිටු වූ SMB ලීසිං සමාගමේ වර්තමාන සභාපතිවරයා වන්නේ රවී විජේරත්න මහතාය. පසුගිය වසරේදී එම සමාගම නිකුත්කළ හිමිකම් නිකුතුවකින් වැඩි කොටස් ප්‍රමාණයක් තමා සතු කරගනිමින් විජේරත්න මහතා එහි ප්‍රධානම කොටස්හිමිකරුවා බවටත් පත්ව සිටියි.

Visits: 463