යුනිලිවර් සමාගම ලොව පුරා රටවල් 100ක රැකියා 1,000ක් කප්පාදුවකට සැරසෙයි?

ලොව දැවැන්තම බහුජාතික සමාගමක් වන යුනිලිවර් සමාගම ලොව පුරා රටවල් 100ක රැකියා 1,000ක් කපා දැමීමට සූදානමින් සිටින බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. මෙම සතියේදී එම සමාගම මේ පිළිබඳ නිවේදනය සිදු කරනු ඇති බව පුවත් සේවය වැඩිදුරත් පවසයි.

එක්සත් රාජධානිය පදනම් කරගත් බහුජාතික සමාගමක් වන යුනිලිවර් සමාගම සතුව අද වනවිට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක සේවකයන් 149,000ක පමණ පිරිසක් සේවය කරමින් සිටින බව පවසයි. එම සමාගම තුළ සිදු කරන පුළුල් ප්‍රතිසංවිධාන කටයුත්තක් ලෙස මෙම සේවක කප්පාදුව සිදු කිරීම සැලසුම බව පැවසෙයි. ඒ හරහා තරගකාරී මෙහෙයුම් ආදර්ශයක් සකස් කිරීම සමාගමේ අපේක්ෂාව වී ඇතැයිද සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම රැකියා කප්පාදුව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය යුනිලිවර් සමාගමෙන් සිදුකළ විමසීමකට එම සමාගම සාර්ථක ප්‍රතිචාර දක්වා නොමැති බවත් පැවසෙයි.

එසේම යුනිලිවර් සමාගමේ වර්ධනය වේගවත් කරන ලෙස එහි ආයෝජකයන් සමාගම වෙත බලපෑම් කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි.

මේ දක්වාම එම රැකියා කප්පාදුව සිදුකරන රටවල් මොනවාද යන්නද යුනිලිවර් සමාගම මගින් අනාවරණය කර නැත. එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ පමණක් යුනිලිවර් සමාගම සතු සේවකයන් සංඛ්‍යාව 6000කට අධික වෙයි.

මේ අතර යුනිලිවර් සමාගම පසුගිය සතියේදී සුප්‍රසිද්ධ ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) සමාගමේ පාරිභෝගික සෞඛ්‍ය නිෂ්පාදන අංශය ස්ටර්ලිං පවුම් බිලියන 50කට මිලදී ගැනීමට උත්සාහ දැරූ බවත් එය අසාර්ථක වූ බවත් එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

සුප්‍රසිද්ධ පැනඩෝල් සහ සෙන්සොඩයින් යන සන්නාම හිමිව ඇත්තේ ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගම වෙතයි.

Visits: 178