ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබීම නිසා දින තුනකට විදුලිය කප්පාදුව නවතී

අද දින සිට ජනාවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බැවින් විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාව ජනවාරි 27 වන දින නැවත සලකා බැලීමට  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙම දින 3 තුල විදුලි ජනනය සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබීම ඊට හේතුව බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන සභාපතිවරයා, “පවත්නා ඉන්ධන තොග හා ඒවා බලාගාර වලට ලබාදීය හැකි දිනයන් පිළිබද තොරතුරු ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා තිබෙන අතර ලබන 27 වැනිදා නැවතත් විදුලි කප්පාදු යෝජනාව පිළිබද සමාලෝචනයක් කෙරෙනු ඇත.

මේ මස අග වන විටදී බොර තෙල් තොගයක් මෙරටට ලැබීමට නියමිත අතර පිරිපහදු කටයුතු ඇරඹීමෙන් අනතුරුව දැවි තෙල් හා නැෆ්තා ඉංධන මගින් ජනන කටයුතු කරන බලාගාර වලට අවශ්‍ය ඉංධන ලැබෙනු ඇති.

එසේම දැනට අලුත්වැඩියා කෙරෙමින් පවතින නොරෝච්චෝලේ බලාගාර 3 වන ඒකකය මේ මස නිමාවීමට ප්‍රථම නැවත විදුලි ජනනය ආරම්භ කිරීමටද නියමිතයි. ඒ අනුව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශ්වාසය පල කරනවා.

මීට අමතරව ගල් අගුරු හා අනෙකුත් ඉංධන ආනයනය සදහා අවශ්‍ය විදේශ විනිමය සොයාගැනීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා සමගත් සාකච්ඡා කළා. ඉදිරියේදී මේ විදේශ විනිමය ගැටළුවත් විසදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටියි.

මේ අතර විදුලි අර්බුදයට කෙටිකාලීන හා මැද කාලීන විසදුම් ගණනාවක් ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇතැයිද සභාපතිවරයා පවසයි.

ඒ අනුව විදුලි පාරිභෝගික ජනතාවගේ සහාය ඇතිව කඩිනම් විදුලි සංරක්ෂණ වැඩපිලිවෙලක් හරහා විදුලි ඉල්ලුම අඩුකිරීම කෙටිකාලින යෝජනා අතර පවතී. මීට අමතරව මැදකාලීන විසදුමක් ලෙස රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශය සතු ජනන යන්ත්‍ර ඵලදායී ලෙස භාවිතයට ගැනීම සදහාද දැනටමත් පියවර ගෙන ඇත.

විවිධ ආයතන සතුව මෙගා වොට් 3000කට වැඩි ධාරිතාවයක් සහිත විදුලි ජනක යන්ත්‍ර භාවිතා වන අතර මෙවැනි විදුලි හිග අවස්ථාවලදී එම විදුලි ජනන යන්ත්‍ර වලින් කාර්යක්ෂම ලෙස විදුලිය සපයා ගැනීම සදහා ක්‍රමවේදයක් හදුන්වාදීමට නියමිතයි.

එසේම ඉදිරීයේදී මෙවැනි ජනන යන්ත්‍ර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම සදහා ඇති හැකියාව පිළිබද වද අධ්‍යනය කෙරෙමින් පවතී. සුර්ය බල පද්ධති හා සුළං බල පද්ධති කඩිනමින් සවිකල යුතු බවටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

Visits: 54