Activision Blizzard මිලදී ගැනීමත් සමග Microsoft සමාගම වීඩියෝ ක්‍රීඩා වෙළෙඳ පොළේ තෙවැනි තැනට

ලොව පුරා ජනප්‍රිය පරිගණක ක්‍රීඩා වන Candy Crush සහ Call of Duty යන ක්‍රීඩා නිර්මාණය කළ ලොව දැවැන්තම පරිගණක ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් වන Activision Blizzard සමාගම මිලදී ගන්නට මයික්‍රොසොෆ්ට් සමාගම පසුගියදා පියවර ගෙන තිබේ.

මෙහිදී එක්සත් ජනපද ඩොලර් බිලියන 68.7ක මුදලකට මෙම මිලදී ගැනීම සිදුව තිබෙන බව වාර්තා පවසයි. ඉදිරියේදී මයික්‍රොසොෆ්ට් සමාගම ජංගම දුරකතන ක්‍රීඩා සහ වර්චුවල් -රියැලිටි තාක්ෂණය සම්බන්ධයෙන් වන සිය තරගකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

අද වනවිට ලොව ජනප්‍රිය පරිගණක ක්‍රීඩා පද්ධතියක් වන Xbox හි නිෂ්පාදකයා වන්නේද මයික්‍රොසොෆ්ට් සමාගමයි. කෙසේ වෙතත් පසුගියදා සන්නාමය වෙනස් කළ Facebook සමාගම සිය අලුත්ම Meta හරහා වර්චුවල් ලෝකයේ සිදුකරන ක්‍රීඩා ඉසව් නිර්මාණයට යොමුවීමේ වැඩි ඉඩක් පැවතීම Xbox හි අනාගතයට යම් ගැටලුවක් එක් කර තිබුණි.

ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය සති කිහිපයේදී මෙම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ අතර, අවසානයේදී දෙපාර්ශ්වයම ඊට කැමැත්ත පළ කර තිබේ. කෙසේ වෙතත් මෙම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මෙන්ම යුරෝපයේද නියාමකයන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයි සඳහන් වෙයි.

යම් ලෙසකින් ඊට අනුමැතිය හිමි වුවහොත් එතෙක් මෙතෙක් ලොව තාක්ෂණික ඉතිහාසය තුළ සිදුවුණු විශාලතම තාක්ෂණික සමාගම් අත්පත් කරගැනීම ලෙසත් මෙය සඳහන් වීමට නියමිතව තිබේ. මීට පෙර 2016 වසරේදී Dell සමාගම මගින් දත්ත ගබඩා සමාගමක් වන EMC සමාගම ඩොලර් බිලියන 60කට මිලදී ගැනීම සිදුවිය.

මෙම අත්පත් කරගැනීම සම්න්ධයෙන් අදහස් දක්වා ඇති මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා, අද දවසේදී Activition Blizzard සමාගමේ ඉදිරි ගමන අතිශය වැදගත් වන බවත්, මයික්‍රොසොෆ්ට් සමාගම එය භාරගත් බවත් පවසා තිබේ.

මේ අතර පසුගිය වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5ක මුදලකට ZeniMax Media නම් සමාගමක්ද අත්පත් කරගත්තේය. එය තවත් වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් වන Bethesda Softworks සමාගමේ මව් සමාගමයි. එම සමාගම සතුවද ලොව ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා රැසක්ම පවතී.

මීට අමතරව 2014 වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගම ස්වීඩනයේ පරිගණක ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් වන Mojang සමාගම ඩොලර් බිලියන 2.5කට මිලදී ගත් අතර, Minecraft ක්‍රීඩාව නිර්මාණය කළේ එම සමාගමයි.

මේ අතර මෙම අත්පත් කරගැනීමත් සමගින්ම මයික්‍රොසොෆ්ට් සමාගම ලොව තෙවැනි විශාලතම වීඩියෝ ක්‍රීඩා සමාගම බවටද පත්ව සිටියි. ඒ මෙතෙක් කලක් එම ස්ථානයේ සිටි Nintendo සමාගම පසු කරමින්. මෙහි අංක එකේ ස්ථානය Playstation හි නිෂ්පාදකයා වන Sony සමාගමත්, දෙවැනි ස්ථානය චීනයේ දැවැන්ත තාක්ෂණික සමාගම වන Tencent සමාගමත් හිමි කරගෙන සිටියි.

1979 වසරේදී ආරම්භකෙරුණු Activision Blizzard සමාගම ගෙවුණු කාලය තුළදී වීඩියෝ ක්‍රීඩා නිර්මාණය හෝ වඩාත් ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවල වරලත්හිමිකාරීත්වය මිලදී ගැනීම හෝ සිදු කර තිබේ. 1991 වසරේ සිටම එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ 59 හැවිරිදි බොබී කොටික්ය. මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුවත් ඔහු එම ධුරයේ රැඳී සිටිනු ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

ලබන ජූලි මාසයේදී ආරම්භවන මයික්‍රොසොෆ්ට් සමාගමේ 2023 මූල්‍ය වර්ෂය තුළදී මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීමටත් සමාගම බලාපොරොත්තුව සිටියි.

Visits: 110