“සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක්” – ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නාමල්

ඩිජිටල් ජාතික හැදුනුම්පත නිකුත් කිරිමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හදුන්වා දීමට අපේක්ෂා කරන බව අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, විභාග සහතික ඇතුළු තමන්ගේ අත්‍යවශ්‍යය පෞද්ගලික ලිපි ලේඛණ තමන්ගේ ජංගම දුරකථනයේ “ඩිජිටල් පසුම්බියක” තබා ගෙන අවශ්‍ය මොහොතක ඉදිරිපත් කිරීමට එමගින් හැකියාව ලැබෙන බව ඔහු කියා සිටි.

මාස 30 ක කාලයක් තුළ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා පෙන්වා දී තිබේ.

ජංගම දුරකථනය මගින් මුදල් ගෙවීම සදහා මහ බැංකුව විසින් හදුන්වා දෙන LANKA QR කේතය ගම්පහ ජනගත කිරිමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ දි ගම්පහ සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.

මේ වන විට දිවයිනේ ප්‍රධාන නගර 13 ක මෙම LANKA QR කේතය හරහා මුදල් ගෙවිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. බැංකු හා බැංකු නොවන ප්‍රධාන මූල්‍ය ආයතන 20 ක් පමණ මේ සදහා දැනට ඇතුළත්ව තිබෙන අතර දිවයින පුරා 290,000 කට ආසන්න ව්‍යාපාරික පිරිසක් මේ සදහා සම්බන්ධ වි සිටිති.

ඇමති නාමල් රාජපක්ෂ මහතා මෙහි දි වැඩිදුරටත් කියා සිටියේ මේ වසර තුළ නගර සභා හා ප්‍රා දේශීය සභා 100 ක් ඩිජිටල්කරණයට ලක් කරන බවයි. කඩකුලි, බිම්කුලි, පොදු බදු එකතු කිරිම, වීථි රේඛා ගෙවීම් ඩිජිටල් තාක්ෂණයෙන් සිදු කිරිමටත් එම ගෙවිම් සදහා LANKA QR කේතය හදුන්වා දීමට පියවර ගැනේ.

2025 වන විට ග්‍රාම නිළධාරි කාර්යාලයේ සිට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව දක්වා රජයේ සියලුම ආයතන ඩිජිටල්කරණයට ලක් කරන බවත් රටතුළ ඩිජිටල් තාක්ෂණ විප්ලවයක් සිදු කරන බවත් නාමල් රාජපක්ෂ ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට මහ බැංකුවේ සහකාර අධිපති ධර්ම ශ්‍රි කුමාරතුංග, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, ගම්පහ ප්‍රා දේශිය ලේකම්, ගම්පහ සියලු බැංකු ප්‍රධානීන් සහභාගී වී තිබේ.

Visits: 117