පොල්කටු ආභරණවලින් රටට ඩොලර් ගෙන එන්නට උත්සාහ දරන නඳුන් චාමික

අද වන විට රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය සඳහා එකම විසඳුම වන්නේ හැකි පමණින් විදේශ විනිමය ඉපැයිය හැකි කර්මාන්ත සහ සේවාවන් වෙත යොමුවීමයි. ඒ සඳහා මාර්ග රැසක්ම ඇති අතර, මේ මාර්ග හඳුනාගෙන රටට ඩොලර් ගෙන එමින් සිය ජීවිතද සාර්ථක කරගැනීමට උත්සාහ දරන පිරිස්ද අප අතරම සිටියි.

හොරණ ප්‍රදේශයේ පදිංචි තවමත් වයස අවුරුදු 27ක තරුණයෙකු වන නඳුන් චාමික ලංකාගේද එවැනි පිරිසගෙන් අයෙකි. එහෙත් ඔහුගේ විශේෂත්වය වන්නේ උපතේ සිටම පවතින ආබාධ සහිත තත්ත්වය තවදුරටත් සිය ජීවිතයට බරක් කරනොගනිමින්, සිය දෑතේ ශක්තියෙන් සිදු කරන නිර්මාණ හරහා පවුලක බර කරට ගැනීමට දරන උත්සාහයයි.

අද වනවිට පොල්කටු ආශ්‍රිත මාල, සාරි කටු සහ කරාබු ඇතුළු ආභරණ සහ යතුරු රඳවන නිපදවීමේ නියැලෙන නඳුන් සැබැවින්ම දක්ෂ නිර්මාණකරුවෙකු බව ඔහුගේ නිර්මාණ දුටු විට පෙනී යයි. ඒ තරමටම එම නිර්මාණ නව ආරක්ගත්, නව හැඩයක් ගත් ඒවාය.

මේ නිසාම අද වන විට ඔහුගේ නිර්මාණ සඳහා ලොව නන් දෙසින් ඇනවුම් ලැබෙමින් පවතී. මේ නිර්මාණ සියල්ලම ඉවතලන පොල්කටුවෙන් සිදු කෙරෙන ඒවා නිසාම විදේශිකයන් අතර ඒ සඳහා වන ඉල්ලුමද ඉහළය.

“අද මගේ නිෂ්පාදන ලෝකයේ රටවල් 08කට යැවෙනවා. ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය වගේ රටවලින් හොඳ ඉල්ලුමක් මේවාට තිබෙනවා.” ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා සමගින් කතාබහ අරඹමින් නඳුන් එලෙස පවසා සිටියේය.  

නඳුන් මෙම පොල්කටු ආශ්‍රිතව සිදුකරන නිර්මාණ සඳහා යොමුවී එතරම් වැඩි කාලයක් නැත. ඊට පෙර ඔහු පේපර් කුයිලිං ආශ්‍රිත නිර්මාණන්හි නිරතව ඇති අතර, කොරොනා වසංගතය නිසා එම නිර්මාණ සඳහා වන ඉල්ලුමේ අඩුවීමත් සමගින්ම ඔහු පොල්කටු ආශ්‍රිත නිර්මාණයන් සිදු කිරිමට යොමුවී තිබේ.

“මම හොරණ, ඔලබොඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් 2013 දී උසස් පෙළ අවසන් කරලා ගෙදරට වෙලා ඉන්න අවස්ථාවකදී තමයි පාසැලේ චිත්‍ර උගන්වපු ගුරුතුමියගේ උපදෙස් අනුව කඩදාසි කුයිලිං යොදා ගෙන නිර්මාණ සිදු කළේ. මොකද මම උපතින්ම ආබාධිත අයෙක්. ඒ නිසා මට එක තැනක ඉඳන් කරන්න පුළුවන් රැකියාවක් තමයි වඩාත් සුදුසු වුණේ. 2016 ඉදන් මම මේ විදියට කඩදාසි යොදාගෙන නිර්මාණ බොහෝමයක් කළා. ගැණුම්කරුවනුත් හිටියා. ඒත් කොරෝනා වසංගතයත් එක්කම ඒවාට තිබුණු ඉල්ලුම අඩු වුණා.”

මෙලෙස කඩදාසි යොදා ගෙන සිදු කරන නිර්මාණයන් සඳහා දැනුම සහ අවස්ථාවන් ලබා ගැනීමේදී  නඳුන් වෙත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන්ද (SED) ඉමහත් දායකත්වයක් හිමි වූ බව ස්තූතිපූර්වකව සඳහන් කරයි. එසේම 2020 වසරේදී පැවැත්විමට නියමිතව තිබූ ව්‍යවසාය ප්‍රදර්ශනය සඳහාද ඔහු නිර්මාණ රැසක්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිට ඇත.

“මම කඩදාසිවලින්, වෙඩින් කාඩ්, බිත්ති සැරසිලි වගේ දේවල් හැදුවා. ඒත් වසංගතය හින්දා ප්‍රදර්ශනය පැවැත්වුණේ නෑ. ඒ එක්කම තමයි මම පොල්කටුවලින් කොප්ප හදන්න පටන් ගත්තේ. අනිත් හැමෝම වගේම ලුණු පොල්කටුවේ ඉඳන් තේ බොන කෝප්පය දක්වා දේවල් හැදුවා.”

මෙහිදී කිසිදු ගුරුවරයෙකුගෙන් හෝ ආයතනයකින් හෝ දැනුම ලබා නොගනිමින් අන්තර්ජාලයේ යූටියුබ් තුළ ඇති පොල්කටු ආශ්‍රිත නිර්මාණ සම්බන්ධ වීඩියෝ නරඹමින් තමන් තනිවම මෙම කර්මාන්තය හුරු වූ බවද නඳුන් අප සමගින් සඳහන් කළේය.

“මට මේ වැඩවලට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර තිබුණේ නෑ. මගේ පාසැල් යාළුවෝ, කුඩා ව්‍යාපාර සංවර්ධන ආයතනය වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා මධ්‍යස්ථානයත් මට ඒවා ගන්න ගොඩක් උදව් කළා. ඒ යන්ත්‍රවලින් තමයි මම මේ නිර්මාණ සිදු කරන්න පටන් ගත්තේ. ඒ අතරදීම LNC Creationsකියලා මගේම නමේ අකුරුවලින් ව්‍යාපාරයක් පටන් ගත්තා. ෆේස්බුක් එකේ ඉන්ස්ටග්‍රෑම් එකේ ප්‍රසිද්ධ කළා.”

සාම්ප්‍රදායිකව සිදුකරන මෙම පොල්කටු ආශ්‍රිත නිර්මාණවලට පිටින් ගොස් නවමු ආකාරයේ හැඩතල සහිතව ආභරණ නිර්මාණයට නඳුන්ගේ හිත යොමුවී ඇත්තේ ඉන් අනතුරුවයි. ඒ අනුව අන්තර්ජාලය හරහාම දැක ගත් හැඩතල සහ ක්‍රමවේද යොදා ගනිමින් ඔහු මෙම ආභරණ නිර්මාණය අරඹා තිබේ.

“මම මාල , කරාබු, කී ටැග්, බ්‍රේස්ලට්, සාරිකටු නිර්මාණ කිහිපයක් කළා. ඒවා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වල දැම්මා. හොඳ ප්‍රතිචාර ලැබුණා. ගෘප්වල ෂෙයාර් කලා. මේවා දැකපු පිටරට ෂොප් කරන අය, පිටරට ෂොප්වලට අයිටම් දාන අය මගෙන් නිර්මාණ ඉල්ලුවා. ඒ විදියට තමයි අද මගේ නිර්මාණ රටවල් 08කටම මට යවන්න හැකිවෙලා තිබෙන්නේ.

අපේ රටේ වගේ නෙමෙයි පිටරට අයට නිෂ්පාදන යවද්දී. ඔවුන් ඉල්ලන විදියටයි අපි නිර්මාණය කරන්නේ. අපේ රටේදී මේ පොල්කටුවට දිස්නයක් දෙන්න වාර්නිෂ් ගානවා. ඒකට තමයි අපේ පාරිභෝගිකයන් කැමති. ඒත් යුරෝපා රටවල ගැනුම්කරුවන් කියන්නේ කිසිම රසායනික ද්‍රව්‍යයක් ආලේප කරන්නේ නැතිව, ස්වාභාවික පොල්කටුවෙන්ම නිර්මාණය කරලා එ අයට දෙන්න කියලයි. ඒ නිසා අපි උපරිමවම පොල්කටුවේ ස්වාභාවික දිස්නය ගන්නවා. ඒකට වැලිකඩදාසි 7කින් 8කින් පොල්කට්ට මදින්න වෙනවා. අන්තිමේදී 1500 කඩදාසියෙනුත් මදිනවා.”

මෙහිදී තම පොල්කටු ආශ්‍රිත ආභරණවල ඇති මෝස්තර නිර්මාණ සියල්ලක්ම තමන් විසින්ම සිදුකරන ඒවා බවත්, ඒවායේ ඇති නවමු හැඩය සහ නිර්මාණාත්මක ලක්ෂණ නිසා බොහෝ දෙනා අතර ඉල්ලුමක් හට ගෙන ඇති බවත් නඳුන් පවසයි.එසේම අලුතින් හඳුන්වාදුන් මෝටර් රථ සන්නාම ඇතුළත් යතුරු රඳවනද ඉතා හොඳින් අලෙවි වන බවත් ඔහු සඳහන් කරයි.

“මේ ආභරණ නම් හැදෙන්නේ ගොඩක්ම බතික් ඇඳුම්වල නිර්මාණ අනුවයි.එතකොට බතික් ඇඳුම් අඳින අයට පුළුවන් මේ ආභරණ පළදින්න. මමමයි මේවායේ වර්ණ ගලපන්නේ. පොල්කට්ටට අමතරව මෝරන්න ළං වේචච කුරුම්බා ගෙඩියේ කට්ටෙනුත් නිර්මාණ කරනවා. ඒක වෙනම වර්ණයක්.

ලංකාවේ ඇතුළෙත් මට ගොඩක් ගැනුම්කරුවන් ඉන්නවා. මගේ ෆේස්බුක් පිටුවටම ඇවිල්ලා මගෙන් ඇනවුම් අරගන්න තරම් ඔවුන්ට පහසුකම් තිබෙනවා. තවමත් මගේ නිර්මාණ වෙළෙඳ පොළට නිකුත් කරලා නෑ. ෆේස්බුක් හරහාම එන ඇනවුම්වලින් තමයි විකුණන්නේ.”

මෙලෙස පොල්කටු ආශ්‍රිතව ආභරණ නිෂ්පාදනය කිරිම අරඹා වසරක පමණ කාලයක් තුළදී තමන් ආ මග ගැන සතුටට පත්වන බවද නඳුන් අප සමගින් පැවසීය. එහෙත් මෙම නිර්මාණ සිදු කිරීමේදී තමන් වන මහන්සිය මේ නිර්මාණ තරම්ම සුන්දර නැතැතැයිද ඔහු පවසයි.

“අවුරුද්ද ඇතුළත ලබාගත්ත දියුණුව ගැන සතුටුයි. මම මේ විදියට ව්‍යාපාරයක් කරන්න යොමුවුණේ ගෙදර තිබුණු වාතාවරණයත් එක්ක. අපේ තාත්තා පෙදරේරුවෙක්. අම්මා ගෘහනියක්. මට 5 වසරේ සහ 8 වසරේ ඉන්න නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒ අයට හොඳින් ජීවත් වෙන්න දෙන්නයි මම මේ ව්‍යාපාරය කරන්නේ. ඒ අයගෙනුත් මට මේ සඳහා ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනවා.”

මෙලෙස උපතින්ම හිමිකරගත් සිය ආබාධය නොව, උපතින්ම හිමි වූ නිර්මාණාත්මක හැකියාව ජීවිතයට ශක්තියක් කරගැනීමට නඳුන් දරණ උත්සාහය බාල, තරුණ, මහළු සියල්ලන්ටම ආදර්ශයක් බවත් පැවසිය යුතුමයි.

“මම මේ නිර්මාණ කරන්න ඉගෙන ගත්තේ වගේම ඒවා අලෙවි කරන්න ගැනුම්කරුවෝ හොයා ගත්තෙත් අන්තර්ජාලයෙන්. නිර්මාණකරුවෙක් වෙලා ව්‍යාපාරිකයෙක් වෙන්න මේ අන්තර්ජාල පහසුකම් ඉතාමත් වටිනවා. ඒ නිසා අපිට දියුණු වෙන්න වගේම මේ රටේ දියුණුවටත් මේ අන්තර්ජාලය හොඳින් යොදා ගන්න අපට පුළුවන්.”

ඉදිරියේදී සිය පොල්කටු ආශ්‍රිත ආභරණ ඇතුළු නිර්මාණ කර්මාන්තය දියුණු කරගැනීම අරමුණ බවත් නඳුන් පවසයි. එහිදී පැහැදිලිවම මෙම කර්මාන්තය තුළ නිරත පිරිසගෙන් එල්ල වන තරගයත් ඉහළ බවද ඔහු  සඳහන් තරයි.

“අද රටේ ගොඩ දෙනෙක් මේ කර්මාන්තයේ නියැලෙනවා. හැබැයි හැමදාම දකින දේම නැතිව, අලුත් නිර්මාණයක් එක්ක කොලිටියෙන් වැඩිනිර්මාණයක් සිදු කරන්න පුළුවන් නම් අපිට මේ රටෙන් වගේම ලෝකයෙනුත් ගැනුම්කරුවන් සොයා ගන්න අමාරු නැහැ.” නඳුන් දැඩි විශ්වාසයෙන් යුතුව පවසා සිටියි.

Visits: 1498