නැනෝ තාක්ෂණ ආයතනය දුම්රිය මැදිරි වෙත ඇමෝනියා පාදක ශීතකරණ සවිකිරීමේ හැකියාව සොයා බලයි

මෙරට දුම්රිය සේවාවට අයත් භාණ්ඩ ප්‍රවාහන මැදිරි තුළ ඇමෝනියා පාදක ශීතකරණ තාක්ෂණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය පවසයි.

විශේෂයෙන්ම මස්, කිරි, පළතුරු සහ එළවලු වැනි ශීතාගාර පහසුකම් අවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනයේදී එම නිෂ්පාදන අපතේ යෑමකින් තොරව ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් සහිත දුම්රිය මැදිරි ඉදිකිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීම මෙහි අරමුණ වී තිබේ.

මෙම ව්‍යාපෘතිය SLINTEC Cold Rail යන නමින් නම් කර තිබේ.

මේ හරහා ශ්‍රී ලංකාව සතු ශීතාගාර හැකියාව වර්ධනය කරමින්, මෙම ආහාරවල පසු අස්වනු හානිය අවම කරගැනීම සැලසුම බව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය පවසයි.

දැනටමත් ප්‍රවාහන අමාත්‍යාංශය සහ කෘෂිකාර්මික අමාත්‍යාංශය සමගින් එක්ව මෙලෙස භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි ශීතාගාර බවට පත් කිරීමේ මෙම ශක්‍යතා අධ්‍යයනය සිදුකරමින් සිටින බව එම ආයතනය සඳහන් කරයි.

ගණන් බලා ඇති ආකාරයට අද වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුවන පසු අස්වනු හානිය වසරකට කිලෝග්‍රෑම් මිලියන 270ක් පමණ වෙයි. එසේම මෙලෙස දුම්රිය හරහා මෙම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී පරිසරයට සිදුවන කාබන් විමෝචනයත් ලොරි රථ හරහා සිදුකරන ප්‍රවාහනයට වඩා 75%කින් අඩු බවත් පවසයි.

ඒ අනුව මෙම ක්‍රමවේදය යොදා ගැනීම හරහා වාර්ෂිකව රටට එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක විදේශ විනිමයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සඳහන් කරයි.

Visits: 104