LOLC හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන හෙට (21දා) සිට HNB අධ්‍යක්ෂ මණ්ඩලයට

LOLC සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කරන කිත්සිරි ගුණවර්ධන මහතා හැටන් නැෂනල් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරගත් බව එම බැංකුව නිවේදනය කරයි.

මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් වන අනුමැතිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවූ ලිපිය වෙත අනුමැතිය හිමිව ඇති බවත්, ඒ අනුව කිත්සිරි ගුණවර්ධන මහතා හැටන් නැෂනල් බැංකුවෙහි විධායක නොවන/ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම සිදුවන බවත් සඳහන් වෙයි.

මෙහිදී අද (ජනවාරි 21දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම බලාත්මක වී තිබේ.

මෙම පත් කිරීම සිදුවන අවස්ථාව වනවිට ගුණවර්ධන මහතා සතුව හැටන් නැෂනල් බැංකුවෙහි ඡන්ද හිමි කොටස් හෝ නිෂ්ඡන්ද කොටස් හෝ හිමිකාරීත්වයක් නොමැති බවත් පවසයි.

වසර 30කට අධික කාලයක් පුරා නීතීඥවරයෙකු ලෙස අත්දැකීම් සහිත කිත්සිරි ගුණවර්ධන මහතා 2004 වසරේදී LOLC සමූහය හා සම්බන්ධ වී තිබේ. ඊට පෙර ඒ මහතා රජයේ ඉහළ ධුර රැසක්ම දරා ඇත. ඒ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අධි නීතිඥවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. එසේම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නීති හා බලාත්මක අංශයේ අධ්‍යක්ෂක කාර්යාලයේද, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේද රාජකාරි කර තිබේ. මීට අමතරව ඒ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියෙහි පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එම ආයතනය පිහිටුවීම සඳහාද දායක වී තිබේ.

අද වනවිට කිත්සිරි ගුණවර්ධන මහතා LOLC සමූහයේ දේශීය සහ විදේශීය පරිපාලිත සමාගම් රැසකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

පසුගිය මැයි මාසයේදී LOLC සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම (BIL) හැටන් නැෂනල් බැංකුවෙහි කොටස් මිලියන 8.47ක් රුපියල් බිලියන 1.1කට මිලදී ගැනීමත් සමගින්ම බැංකුවෙහි වැඩි කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ සමගින්ම එහි මෙහෙයුම් හි වැඩි බලයක් LOLC සමූහය වෙත හිමි විය.

ඒ අනුව අද වනවිට හැටන් නැෂනල් බැංකුවෙහි තනි විශාලතම කොටස්හිමිකරුවා ලෙස බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සතුව ඇති අතර එය 9.9%ක ප්‍රතිශතයකි.

Visits: 322