LANKAQR ගෙවීම් පහසුකම් සඳහා HNB බැංකුව Cinnamon Hotels සමඟ අත්වැල්බැඳ ගනී

සංචාරක ක්ෂේත‍්‍රයේ මුදල් රහිත සහ සම්බන්ධතා රහිත ගෙවීම් ජනගත කිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබා දෙමින් හැටන් නැෂනල් බැංකුව මෙරට සුප‍්‍රසිද්ධ හෝටල් ජාලයේ අවන්හල් සඳහා LANKAQR පහසුකම හදුන්වා දීමට Cinnamon Hotels & Resorts සමඟ අත්වැල් බැඳ ගත් බව පවසයි.

ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබීමෙන් පසුව Cinnamon Hotels & Resorts ද QR කේත හරහා සම්බන්ධතා රහිත ගෙවීම් කිරීමේ පහසුකම Cinnamon Lakeside Colombo සහ Cinnamon Grand Colombo යන හෝටල්වල අවන්හල් වෙත හදුන්වා දෙන ලදී.

මෙම පහසුකම දියත් කිරීමේ උත්සවය HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB ඩිජිටල් ව්‍යාපාර ප‍්‍රධානී, චම්මික වීරසිංහ, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර-ව්‍යාපාර සංවර්ධන – පියකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු HNB හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම Cinnamon Lakeside Colombo සහ Cinnamon Grand Colombo හි සාමාන්‍යාධිකාරී, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති, කමල් මුණසිංහ, Cinnamon Hotels & Resorts උප සභාපති – මූල්‍ය, ශානක සිල්වා සහ Cinnamon Grand Colombo හි තොරතුරු තාක්ෂණ ප‍්‍රධානී, ශිරාන් තිසේරා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් Cinnamon Grand Colombo හි දී පැවැත්විණි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”ශ‍්‍රී ලංකාවේ සියලූම ක්ෂේත‍්‍රවල ඩිජිටල් ගෙවීම් ක‍්‍රම පිළිගැනීම වැදගත්. කොවිඞ් වසංගතය හේතුවෙන් QR මත පදනම් වූ ගෙවීම් වෙත මූලික අවධානය යොමු වුණා. නමුත් HNB SOLO වැනි QR සක‍්‍රීය වේදිකා හරහා ලබා දෙන පහසුව සහ විශ්වසනීයත්වය නිසාවෙන් මෙම පහසුකම භාවිතා කරන නව පාරිභෝගිකයින් පිරිසක් අපි දැන් දකිනවා. අපගේ ශක්තිමත් තාක්ෂණික යටිතල පහසුකම් මෙම ව්‍යාප්තියට නායකත්වය දීම සඳහා අපව වඩාත් ශක්තිමත් කරන අතර Cinnamon Hotels & Resorts වැනි කීර්තිමත් හවුල්කරුවෙකු සමඟ සංචාරක ක්ෂේත‍්‍රයට පිවිසීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙනි.

සැලකිය යුතු කරුණක් වන්නේ ගනුදෙනුව සඳහා යොදා ගැනෙන අද්විතීය QR කේතයක් වන Dynamic QR කේතය scan කිරීමෙන් ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින් සතු වීමයි. මෙම LANKAQR මුලපිරීම සමඟ සම්බන්ධ වූ යෙදවුමක් (app) භාවිතා කරන පාරිභෝගිකයින්ට Point of Sale (PoS) යන්ත‍්‍රයේ තිරය මත දිස්වන Dynamic QR scan කිරීමෙන් වෙළෙඳසැල්වල භාණ්ඩ මිලදී ගැනීමේ දී ස්පර්ශයෙන් තොර මිලදී ගැනීම් සිදු කිරීමට ඉඩ සලසයි.

HNB හි පද්ධතිය වෙළෙඳසැල් හිමියාගේ මුදල් PoS සමඟ ඒකාබද්ධ කිරීම නිසා JustPay ගනුදෙනු සඳහා වෙළෙඳසැල් හිමියාගේ ගිණුමට බැර කරන ලද මිලදී ගැනීම එවේලේම (real-time) තහවුරු වන බැවින් මෙම පහසුකම වෙළඳසැල් හිමියන්ට ද ප‍්‍රයෝජනවත් වේ. මීට අමතරව Just Pay ගනුදෙනු යටතේ ‘LANKAQR’ වේදිකාව භාවිත කිරීම සඳහා වෙළෙඳසැල් හිමියන්ගෙන් අය කරනු ලබන්නේ සැලකිය යුතු අවම ගාස්තුවකි.

එපමණක් නොව මෙම හවුල්කාරීත්වය මගින් අනෙකුත් බැංකුවල ගනුදෙනුකරුවන් ඇතුළු සියලූම ශ‍්‍රී ලාංකිකයින්ට Cinnamon Hotels & Resorts හි ගනුදෙනු බාධාවකින් තොරව සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙයි.

”පසුගිය වසර දෙක සංචාරක කර්මාන්තයට මෙන්ම රටටත් ඉතා අසීරු කාලයක්. නමුත් අවසානයේ ක‍්‍රම ක‍්‍රමයෙන් සියල්ල යථා තත්වයට පත්වීම දැකීමට අපට ඉතා සතුටුයි. සංචාරක කර්මාන්තය ආපසු නගා සිටුවීම සඳහා අන් කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වන ලෝකයට අපි අනුවර්තනය විය යුතු වෙනවා. ඩිජිටල් ගෙවීම් විසඳුම් සකී‍්‍රය කිරීම අපගේ පාරිභෝගිකයින්ගේ සුවපහසුව සහ ආරක්ෂාව උසස් මට්ටමකට ගෙන එනවා. අපගේ මෙම QR ගෙවීම් දියත් කිරීම මඟින් සංචාරක සහ හෝටල් ක්ෂේත‍්‍රයට ඩිජිටල් ගෙවීම් ව්‍යාප්ත කිරීම සඳහා හොඳ උත්තේජනයක් සපයනු ඇතැයි අප විශ්වාස කරනවා. අපගේ පාරිභෝගිකයින්ගේ ජීවිත වඩාත් පහසු සහ යහපත් කිරීම සඳහා ඔවුන්ගේ තාක්ෂණික දැනුම උපයෝගී කර ගැනීමට HNB සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් Cinnamon Grand Colombo සහ Cinnamon Lakeside Colombo හි සාමාන්‍යාධිකාරී සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති, කමල් මුණසිංහ මහතා පැවසුවේය.

Visits: 45