සතිඅන්තයේ උද්‍යාන නැරඹීමෙන් පමණක් කෝටියකට ආසන්න ආදායමක්

ඉකුත් සති අන්ත දිර්ඝ නිවාඩුවේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින්‍ ගෙන් කෝටියකට ආසන්න ආදායමක් උපයා ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තෛපොංගල්, සති අන්ත සෙනසුරාදා ඉරිදා හා  දුරුතු පොහොය දිනය එක ළග ළග දිනවල යෙදී තිබීම නිසා විශාල පිරිසක් විනෝද චාරිකාවලට එක්වීමක් දක්නට ලැබුණු අතර වැඩිම පිරිසක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ තිබුණේ ඉකුත් 16 වැනිදායි.

එදින දේශීය සංචාරකයින් 23,342ක් හා විදේශීය සංචාරකයින් 425ක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර එමගින් රුපියල් 2,859,840ක ආදායමක් උපයා ඇතැයි ඇමතිවරයා කියයි.

තෛපොංගල් නිවාඩුව යෙදුනු 14 වැනි සිකුරාදා උද්‍යාන නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 11,617ක් හා විදේශිය සංචාරකයින් 423ක් පැමිණ ඇති අතර එමගින් රුපියල් 1,840,500 ක ආදායමක් ලැබී තිබේ.

ඉකුත් 15 වැනි සෙනසුරාදා දේශීය සංචාරකයින් 16,175ක් හා විදේශිය සංචාරකයින් 493ක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර එමගින් රුපියල් 2,381,340ක් ලැබී ඇත.

දුරුතු පොහොය දිනයේ දේශීය සංචාරකයින් 18,747ක් හා විදේශිය සංචාරකයින් 314ක් පැමිණ තිබේ. එදින රුපියල් 2,250,140ක ආදායමක් ලබා තිබේ.

ඒ අනුව සති අන්ත දිර්ඝ නිවාඩුවේ පමණක් උද්‍යාන නැරඹීමට පැමිණි දේශීය විදේශීය සංචාරකයින් මඟින් රුපියල් 9,331,820ක ආදායමක් ලබා ගෙන ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

Visits: 54