මහ බැංකු පොළී අනුපාත ඉහළ දැමීමේ තීරණයත් දර්ශක අගයන් පහළ වැටීමට හේතු වෙයි

නව වසර සඳහා අද (ජනවාරි 20) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී සාර්ථක තත්ත්වයක් පෙන්නුම් කළද ලාභ ඉපැයීමේ අවස්ථාවන් වෙත යොමුවීම නිසා දර්ශක අගයන් පහත වැටීමක් දක්නට ලැබුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

විශේෂයෙන්ම මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීමට ගත් තීරණයද අද දිනයේදී ගනුදෙනු වෙත යම් බලපෑමක් එල්ල කළ අතර, ඒ හේතුවෙන්ද දර්ශක අගයන් පහත වැටිමක්ද සිදුවිය. කෙසේ වෙතත් එය බලාපොරොත්තු වූ තරම් දරුණු බලපෑමක් නොවීමද විශේෂත්වයකි.

මේ අතර වටිනා සමාගම් කෙරෙහි වූ මිලදී ගැනීමේ කැපී පෙනෙන උනන්දුවක්ද දිනය තුළ දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 13,361.17ත් ඒකක 13,519.57ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,361.17ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 19) දිනයට සාපේක්ෂව ඒකක 101.22ක් එනම් -0.75%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+6.75), පීජීපී ග්ලාස් සිලෝන් පීඑල්සී GLASS (+5.7), ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී JAT (+5.2), ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී AEL (+4.2), ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී KHL (+2.6), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-15.2), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (-13.5), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-11.3), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-10.1), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-9.6) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, හේලීස් පීඑල්සී, ඩයලොග් ආසිආටා පීඑල්සී, සීඅයිසී හෝල්ඩිංග්ස් නිෂ්ඡන්ද කොටස් සහ කොමර්ෂල් බැංකුව තුළ සිදු වුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 24%ක දායකත්වයක් ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 76ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 152ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,623.95ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 19) ‍ට සාපේක්ෂව ඒකක 19.15ක එනම් -0.41%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.01ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 19) වාර්තා කළ රුපියල් බිලියන 5.57ට  සාපේක්ෂව 27.1% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 6.0ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.35%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 98.33ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 214.03ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 115.7කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 2.27 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  38.09කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ටීජේලංකා පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 57.58ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,546ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 36%කි. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1‍,579ක සහ රුපියල් මිලියන 1,153ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 167