“ආර්ථිකය වර්ධනය කරන්න නම් ආදායම් බදු අහෝසි කළ යුතුයි” – සුබ්‍රමනියම් ස්වාමි

ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය කරගැනීමට අවශ්‍ය නම් ආදායම් බදු අය කිරීම අහෝසි කළ යුතු බව එරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු, ගණිතඥයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන සුබ්‍රමනියම් ස්වාමි මහතා සඳහන් කරයි. පසුගියදා ඉන්දියාවේ Business Today වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ස්වාමි මහතා මේ බව පවසා තිබේ.

විශේෂයෙන්ම ඉන්දියාව 2022-23 වසර සඳහා වන මීළග අයවැය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මොහොතේදී එරට මුහුණ දෙන COVID-19 තෙවැනි රැල්ලත් සමගින්ම ආර්ථිකය කෙසේ වර්ධනය කරගත හැකිද යන්න පිළිබඳව මෙහිදී එම වෙබ් අඩවිය සුබ්‍රමනියම් ස්වාමි මහතාගෙන් කරුණු විමසා ඇතැයි පවසයි.

එහිදී මෙම අවස්ථාව වනවිට සුබ්‍රමනියම් ස්වාමි ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් ඔහු විසින් ගන්නා තීරණ මොනවාද යන්න මෙහිදී ඔවුන් විමසිමක් සිදු කර තිබේ.

ඊට පිළිතුරු දී ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා, “මුලින්ම මම කියන්න ඕනේ අප්‍රේල් 01 වැනිදා ඉදන් අපි ආයෙමත් සාමාන්‍යයකරණයට පත් වුණත්, කිසිවෙකුවත් තමන්ගේ ආදායම් බදු ගෙවාවි කියලා හිතන්න බැහැ. සාමාන්‍යකරණයට ලක්වූවාට පස්සේ මම මුලින්ම කරන්නේ එය ස්ථිරවම පවත්වාගෙන යන්න කටයුතු කිරීම. දෙවැන්න තමයි ණය පොළී අනුපාතය දැනට තිබෙන 12% ඉදන් 9%ක් දක්වා පහතට ගෙන ඒමයි. එය අපේ අතේ තියෙන දෙයක්. ඒ වගේම බැංකුවලට පුළුවන් තමන්ගේ ස්ථිර තැන්පතු සඳහා ලබා දෙන පොළිය 6% සිට 9%ක් දක්වා ඉහළ නංවන්න. ඒ කියන්නේ මිනිසුන්න්ට පුළුවන් ගොඩක් සල්ලි ඉතුරු කරන්න.

එක කරුණක් කියන්න තිබෙනවා. ඒ තමයි අපි අපේ දල ජාතික නිෂ්පාදිතයෙන් 36%ක් ඉතිරි කළා. ඒත් අද මේ ඉතිරිය 31%ක් දක්වා අඩුවෙලා. ඒ කියන්නේ ආයෝජනය කිරීම් අඩුවෙලා. මොකද ඉතිරි කිරීම් තිබුණොත් තමයි ආයෝජනයක් සිද්ධ වෙන්නේ.

මෙලෙස ආදායම් බදු අය කිරීම අහෝසි කිරීම හරහා රජයේ ආදායම වෙත දරුණු බලපෑමක් එල්ලවිම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දී ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා, ආදායම් බදු අය කර ගැනීමකින් තෙරව වෙනත් විකල්ප ක්‍රම හරහා රජයට ආදායම් රැස් කරගත හැකි බව පෙන්වා දෙයි.

“උදාහරණයක් විදියට ගත්තොත් අපේ භාරතීය ජනතා පක්ෂය බලයට පැමිණෙන විට ආදායම් බදු විදියට ඉන්දියානු කෝටි ලක්ෂ 4ක් රැස් කරගත්තා. අද අයවැය ගත්තොත් එය කෝටි ලක්ෂ 8ක් 9ක් වෙලා. ඒත් මේ විදියට බදු අයකර ගැනීමකින් තොරව වෙනත් විකල්ප ක්‍රම හරහා රජයට ආදායම් රැස් කරගන්න පුළුවන්. හරියට 2G සන්නිවේදන පහසුකම් වෙන්දේසි කිරිමක් වගේ දෙයකින්. එවැනි පළමු වෙන්දේසියකින් අපිට පුළුවන් ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 4ක් රැස් කරගන්න. එය අපි රැස් කරගත්ත ආදායම් බදු හා සමානයි.” සුබ්‍රමනියම් ස්වාමි මහතා පෙන්වා දෙයි.

එසේම ගල් අඟුරු වෙන්දේසිය වැනි තවත් විකල්ප ප්‍රභවයන් හරහාද රජයට ආදායම් රැසකරගත හැකිය යන්න ඔහුගේ අදහස වී තිබේ.

“ආර්ථිකය වර්ධනය වුණොත්, මිනිස්සුත් ආණ්ඩුවට බදු ගෙවන්න කැමතියි. එතැනදී නීතියක් ගේන්න ඕනේ සමාගමක ආදායම බදු විදියට නොගෙවා ඒවා නැවතත් එම සමාගමේම ආයෝජනය කරන්න අවස්ථාව ලබා දෙන. එතකොට ඉතිකිරීමේ අනුපාතය ඉහළ ගිහින්, ඒ සමගම ආර්ථික වර්ධනයේ වේගයක් ඉහළ යනවා.” සුබ්‍රමනියම් ස්වාමි මහතා වැඩිදුරටත් පවසා ඇත.

ඉන්දියාවේ මීළග අයවැය ලබන පෙබරවාරි 01 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

Visits: 146