EPF මගින් ලැයිස්ගුත සමාගම්හි සිදු කළ ආයෝජනයෙන් 2021දී රු.බිලියන 28ක ලාභයක්

මුදල් මණ්ඩලය විසින් කළමනාකරණය වන සේවක අර්ථසාධක අරමුදල මගින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් තුළ සිදු කර ඇති ආයෝජන කළඹෙහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 112ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව පසුගිය වසර තුළදී මෙම ආයෝජන කළඹෙහි පිරිවැය වූ රුපියල් බිලියන 84ට සාපේක්ෂව එය රුපියල් බිලියන 28ක ලාභයක් ලෙස වාර්තා වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්වලට අනුකූලව, සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන කළඹෙහි වටිනාකම හා අදාළ මූල්‍යවර්ෂයේ ලාභය ගණනය කිරීම සිදු කරන බවත් මහ බැංකුව පවසයි.

එසේම 2021 වසරේදී සේවක අර්ථ සාධක අරමුදල කොටස් හා මුදල් ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ ලෙස රුපියල් බිලියන 4.7ක් උපයන ලද බවත් මහ බැංකුව පවසයි. මීට අමතරව 2019 සිට 2021 දක්වා තෙවසර තුළදී  රුපියල් බිලියන 9.6ක පිරිවැයක් සහිත වූ ලැයිස්තුගත නොකළ සමාගම්වල ආයෝජන මත රුපියල් බිලියන 2.5ක වාර්ෂික සාමාන්‍ය ලාභාංශ ආදායමක් උපයා ගැනීමටද සමත්ව ඇතැයි සඳහන් කරයි.

මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවෙහි දැනට ඇති විශාලතම විශ්‍රාම අරමුදල වන්නේද සේවක අර්ථසාධක අරමුදලයි. එම අරමුදලෙන් 94%ක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති අතර, ඉතිරිය ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් කොටස්, සාංගමික ණයකර, භාරකාර සහතික හා වෙනත් මුදල් වෙළෙඳ පොළ උපකරණවල ආයෝජනය කර තිබේ.

ඒ අනුව 2020 දෙසැම්බර් 31 වැනිදිනට සේවක අර්ථ සාධක අරමුදලෙහි ආයෝජන කළඹෙහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 3,243ක් ලෙස සටහන්ව තිබූ බවත් මහ බැංකුව සඳහන් කරයි.

Visits: 149