බලශක්ති අර්බුදය සහ මහබැංකු පොළීඅනුපාත පිළිබඳ අදහස වෙළෙඳ පොළට බලපායි

අද (ජනවාරි 20දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉතාමත් සුළු ඉහළයාමක් සමගින් නිමාවට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් අද දිනයේදී වඩාත් හොඳ පිරිවැටුමක් වාර්තා කිරීමට වෙළෙඳ පොළ සමත්ව තිබේ. එහෙත් රට තුළ පවතින බලශක්ති අර්බුදය නිසා මතුවන නිෂ්පාදන ගැටලු පිළිබඳව ආයෝජකයන් වැඩි අවධානයක් යොමු කළ බවත් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම හෙට දිනයේදී ඉදිරිපත්වීමට නියමිත ප්‍රතිපත්ති පොළී අනුපාත පිළිබඳ මහබැංකු මුදල් මණ්ඩල තීරණය පිළිබඳ අදහසද අද දිනයේදී විදේශ ආයෝජන අලෙවි කිරීම සඳහා හේතු වූ බවත් එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 13,338.90ත් ඒකක 13,538.97ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 13,462.39ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 19) දිනයට සාපේක්ෂව ඒකක 5.19ක් එනම් +0.04%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+12.8), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+5.2), ටීජේලංකා පීඑල්සී TJL (+5.1), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.4), ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී LLUB (+4.4), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-21.8), බුකිට්ඩරාහ් පීඑල්සී BUKI (-6.3), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-4.8), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-4.5), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-3.4) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී, කොමර්ෂල් බැංකුව, කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී, පෑන්ඒෂියා බැංකුව සහ සම්පත් බැංකුව තුළ සිදු වුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 5.9%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 111ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 118ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,623.95ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 19දා) ‍ට සාපේක්ෂව ඒකක 5.59ක එනම් +0.12%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.57ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 19) වාර්තා කළ රුපියල් බිලියන 7.11ට  සාපේක්ෂව 21.7% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 6.05ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 10.17%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 96.39ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 213.82ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම් හි වටිනාකම රුපියල් මිලියන 117.43කි. ඒඅනුව වසරේ ආරම්භයේ සිට පිටතට ගලා ගොස් ඇති සමස්ත විදෙස් ආයෝජන ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 2.16ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  22.98කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය ටීජේලංකා පීඑල්සී සමාගම ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 63.28ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,533ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 28%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 786ක සහ රුපියල් මිලියන 728ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 248