SLT-MOBITEL සමාගම ‘No Dream Too Big’ නව තේමාවක් යටතේ ඉදිරියට

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Big’ නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදු විය. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී මෙම කටයුතු සිදුකෙරිණි.

එම අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT අධ්‍යක්ෂ ජනාධිපති නීතීඥ මොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, සහ SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆනෑන්ඩස් යන මහත්වරුන් ප්‍රමුඛව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා පාරිභෝගිකයන් ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.

SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Big’යන්න පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, වැඩි වැඩියෙන් ජනතාව වෙත සමීප වෙමින් ඔවුන්ගේ හදවත් දිනා ගැනීම ය.

උත්සවයේදී අදහස් දැක්වූ SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා “අනාගතය දෙස බලන විට, ඔබගේ සහයෝගයද සමගින් 2022 වසරේදී පෙරටත් වඩා හොඳ ප්‍රගතියක් අත්පත් කරගනිමින්, SLT සමූහය මෙරට තුළ රාජකාරි කිරීමට සුදුසුම ස්ථානයක් මෙන්ම, ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ උත්සාහයේ නියමුවා බවට පත්කිරීමටද අපට හැකි බව මට විශ්වාසයි. නවීන තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක සිටින අපට, එම තාක්ෂණය ඉදිරියට ගෙනයාමේ බලවේගය බවට පත්වීමට පුළුවන්. මේ දක්වාම සමාගමේ උන්නතිය වෙනුවෙන් ඔබ දැක්වූ දායකත්වයට ස්තූතියි. නව වසර තුළදීත් ඔබගේ සහයෝගය අඛණ්ඩව අප වෙත ලැබෙනු ඇතැයි කියා මා විශ්වාස කරනවා” යනුවෙන් පැවසී ය.

වසරකට පෙර සිදුවූ සන්නාම ඒකාබද්ධකරණයෙන් අනතුරුව, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා SLT-MOBITEL දැවැන්ත දායකත්වයක් දක්වා තිබේ. ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ පුළුල් පරාසයක පැතිරුණු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් හා සේවාවන් හඳුන්වා දෙමින්, පාරිභෝගිකයන්ගේ ජීවිත විශාල පරිවර්තනයකට ලක්කිරීමට SLT-MOBITEL සමත් වී ඇත.

තම Home Broadbandසේවා කළමනාකරණය කිරීම සඳහා Amazon Alexa තාක්ෂණයේ හැකියාපූර්ණ ලෙස භාවිතයට ගැනීමට සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික සමාගම බවට පත්වූයේ SLT-MOBITEL ය. එමෙන්ම, SLT-MOBITEL සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ට, එම සේවා සම්බන්ධයෙන් අවශ්‍ය වන සහයෝගය ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකිවන ආකාරයට ‘MySLT App’පුළුල් මට්ටමින් වැඩිදියුණු කරන ලදි.

2022 වසර ආරම්භ වන මේ මොහොතේ, තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින්, ජන ජීවිතයේ පරිවර්තනයේ බලවේගය බවට පත්වීම ඉලක්ක කරගෙන තම ඉදිරි ගමනේ තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. මීට පෙර ක්‍රියාවට නැංවූ ක්‍රමෝපායික සැලසුම් හේතුවෙන් සමාගම මේ වනවිට කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, ඉදිරියේදී පාරිභෝගික සේවා, විකිණුම් සහ අලෙවිකරණ යනාදී අංශයන්ට අදාළව, දියුණුව හා තිරසාරත්වය ඉලක්ක කරගත් නව ක්‍රමෝපායික සැලසුම් රාශියක් ක්‍රියාවට නැංවීමට සමාගම සැලසුම් කර ඇත.

මෙම වසරේ සිට තම ඉදිරි ගමන තවත් වේගවත් කරමින්, දුරකථන සමාගමක සීමාවෙන් ඔබ්බට ගොස් පුළුල් තලයේ තාක්ෂණික සමාගමක් බවට පත්වීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි. එමෙන්ම 2022 වසර තුළදී SEA-ME-WE 6 නවතම මුහුදු සංදාම පද්ධතිය සඳහා ආයෝජන සිදුකරමින්, කොළඹ වරාය නගරයට අතිනවීන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීමටද SLT-MOBITEL කටයුතු කරනු ඇත.

Visits: 117