විදුල්ලංකා සමාගම මලාවිහි විදුලි බලාගාරයක 30%ක් අත්පත් කරගැනීමේ අවසන් අදියරේලු

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම මලාවි රාජ්‍යයේ පිහිටි Quantel Renewable Energy Limited සමාගමේ 30%ක ප්‍රතිශතයක් අත්පත් කරගැනීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව එම සමාගම පවසයි.

කොළඹ කොටස් හුවමාරුව වෙත එවන ලද ලිපියක් මගින් එම සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

ඒ අනුව මලාවි රාජ්‍යයේ ක්‍රියාත්මක විදුල්ලංකා පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමක් වන Muvumbe Hydro (U) මගින් එක්සත් ජනපද ඩොලර් 360,000ක මුදලකට මෙම මිලදී ගැනිම සිදු කරන බව සමාගම පවසයි.

මෙහිදී අදාළ කොටස් අත්පත් කරගැනීමේ කටයුතු ඩෙන්මාර්කයේ frontier Energy සමාගම සමගින් ඇති කරගන්නා හවුල්කාරීත්වය අනුව සිදු වෙනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර මලාවි රාජ්‍යයේ පිහිටි මෙම Quantel Renewable Energy Limited සමාගම දැනටමත් එරට විදුලි සැපයුම් සමාගම (Electricity Supply Corporation of Malawi) සමගින් විදුලිය අලෙවි කිරීමේ එකඟතාවකට පිවිස ඇති බවත් පවසයි.

මලාවි රාජ්‍යයට අයත් Power Market Limited සමාගම වෙතින් හිමිකරගත් අවස්ථාවක් යටතේ උතුරුදිග මලාවිහිදී පිහිටුවෙන 50MW සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම, හිමි කරගැනීම සහ පවත්වාගෙන යාම සඳහා වන එකඟතාවක් අනුව Quantel Renewable Energy Limited සමාගම මෙම එකඟතාවට පිවිස තිබේ.

මෙහිදී එම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 60ක ආයෝජනයක් අවශ්‍යව ඇති බවත්, ඉන් 75%ක්ම ණය ලෙස සැපයීම බලාපොරොත්තුව බවත් පැවසෙයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් නිමාවීමත් සමගින්ම එම සමාගමෙහි 34%ක කොටස් ප්‍රතිශකයක් විදුල් සමූහය වෙතත්, 51%ක් Frontier සමාගම වෙතත් හිමි වන බව සඳහන් වෙයි. එසේම ඉතිරි 15%ක ප්‍රතිශතය Quantel Renewable Energy Limited සමාගමටත් හිමි වෙයි.

මෙම ව්‍යාපෘතිය 2023 වසරේදී මලාවි හි ජාතික පද්ධතිය වෙත එක් කිරිම සැලසුම වී තිබේ.

2011 වසරේ දී පිහිටවුණු මෙම frontier Energy සමාගම අප්‍රිකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති ආයෝජකයෙකු ලෙස හඳුනාගෙන තිබේ. අද වනවිට එම සමාගම සතුව ජල, භූතාපජ, සුළං සහ සූර්ය විදුලි ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර 60කට අධික සංඛ්‍යාවක් ඇත. මේ හරහා ජනනය කරන සමස්ත විදුලිය ධාරිතාව මෙගාවොට් 1,100කි.

Visits: 540