මහජන බැංකුවේ ස්වයං බැංකු ඒකක ඔස්සේ 2021 වසරේදී රුපියල් ට්‍රිලියන 1.2කට අධික ගනුදෙනු

දිවයින පුරා විහිදී ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, මුදල් තැන්පතු යන්ත්‍ර සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර ‍(Kiosks) කියොස්ක් ඇතුළත් ස්වයං බැංකුකරණ ඒකක ඔස්සේ 2021 වසරේදී රුපියල් ටි්‍රලියන 1.2කට අධික වටිනාකමින් යුත් ගනුදෙනු මිලියන 82.6ක ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම වාණිජ බැංකුව වන මහජන බැංකුව, මිලියන 14කට අධික වූ ශ්‍රී ලංකාවේ වැඩිම ගනුදෙනුකරුවන් සංඛ්‍යාවට මෙන්ම 741කට අධික පුළුල්තම ශාඛා ජාලයට ද හිමිකම් කියයි. 2021 වසර තුළදී මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් රුපියල් බිලියන 800කට අධික ගනුදෙනු ප්‍රමාණයක් සිදුව ඇති අතර, මුදල් තැන්පතු යන්ත්‍ර 298 මඟින් රුපියල් බිලියන 460කට අධික වටිනාකමින් යුත් ගනුදෙනු සිදුවීම විශේෂත්වයකි. බැංකුවේ Kiosk යන්ත්‍ර ඔස්සේ රුපියල් බිලියන 5ක ගනුදෙනු ප්‍රමාණයක් ද වාර්තා වී තිබේ. වසරේ දින 365ම පැය 24 පුරා තමන්ට පහසු පරිදි ගනුදෙනු සිදුකළ හැකි මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ සේවා පහසුකම ජනතාව අතර, අතිශයින්ම ජනප්‍රිය වී ඇති බවට මෙය කදිම නිදසුනකි.

2022 වසර ආරම්භයත් සමඟින් මහජන බැංකුව ජාතියේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීම සඳහා වන සිය මෙහෙවරට කැප වෙමින් අසමසම ඩිජිටල් බැංකු සේවාවන් පිරිනැමීමට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. ස්වයං බැංකුකරණ ඒකක මෙන්ම බැංකුවේ ඩිජිටල් බැංකුකරණ යෙදවුම වන  People’s Wave” People’s Wyn සහ People’s Pay මෙරට ඩිජිටල් බැංකුකරණය නව මාවතක් කරා රැගෙන ගොස් ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් බාගත කර ඇති බැංකුකරණ යෙදවුම වන People’s Wave මිලිනයකට වැඩි පිරිසක් සක්‍රීයව භාවිත කරන අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට විවිධ වූ මූල්‍ය ගනුදෙනු 50ක් පමණ සිදුකිරීමට හැකියාව සැලසේ.

වසර 60ක් මුළුල්ලේ මහජන බැංකුව, ජනතාවගේ මූල්‍ය සේවා සැපයුම්කරුවෙකුගේ සිට සමස්ත ජාතියටම ප්‍රතිලාභ සලසන අතිනවීන තාක්ෂණික ක්‍රමෝපායන්ගෙන් සමන්විත ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා බවට පත්වීම දක්වා අති සාර්ථක ගමනක යෙදී සිටියි. 2015 වසරේ සිට මහජන බැංකුව ශ්‍රී ලාංකික බැංකු ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය සහ ගනුදෙනුකාර සබැඳියාව ගොඩනැංවීමේ පුරෝගාමියා බවට පත්ව ඇති අතර, එතැන් සිට වඩා පහසු, වේගවත් සහ කාර්යක්ෂම සේවාවන් පිරිනැමීම සඳහා විවිධාංගීකරණය වූ ඩිජිටල් බැංකු සේවා රැසක් හඳුන්වාදී ඇත. තොරතුරු තාක්ෂණය පිළිබඳව ආරක්ෂාව සහ සුරක්ෂිත බව සම්බන්ධයෙන් ලොව ඉහළම පිළිගැනීම වන  ISO/IEC 27001:2013  ප්‍රමිති සහතිකය ලබා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම බැංකුව වන්නේ මහජන බැංකුවයි.

Visits: 35