රු. බිලියන 4ක් වටිනා හෙළ ඇපරල් මූලික මහජන කොටස් නිකුතුවට අධි දායකත්වයක්

ලොව ඉහළ මට්ටමේ ඇගලුම් සන්නාම රැසක් යටතේ නිෂ්පාදන ගණනාවක් ඉදිරිපත් කරන මෙරට මුල් පෙළේ ඇගලුම් නිෂ්පාදන සමාගමක් වන ‘හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ්‘ සමාගම කොළඹකොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා අද දිනයේදී විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා අධි දායකත්වයක් හිමිව ඇතැයි පවසයි.

මෙහිදී සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 267,108,998ක් මූලික කොටස් නිකුතුව හරහා නිකුත් කෙරුණු අතර, එම එක් කොටසක් රුපියල් 15.00ක් ලෙස මිල කෙරී තිබේ. ඒ අනුව මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 4ක් ලෙස ගණන් බලා තිබේ.

හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම පවසන ආකාරයට මෙහිදී නිකුත් කරන කොටස කොටස් ප්‍රතිශතය එම සමාගමෙහි සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 20%කි.

ඒ අනුව මූලික මහජන කොටස් නිකුතුව විවෘත කර සුළු මොහොතකින් මෙලෙස ඊට අධිදායකත්වයක් හිමිවූ බව සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පෙර සැලසුම් කළ ආකාරයටම අද පස්වරු 4.30 දක්වා මෙම මූලික මහජන කොටස් නිකුතුව වෙත ඉදිරිපත් වන අයැදුම්පත්‍ර භාර ගැනීම සිදු කරන බව හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම පවසයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා රුපියල් බිලියන 4ක මුදල සිය ව්‍යාපාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා යොදා ගන්නා බව හෙළ ඇපරල් සමාගම පවසයි. දැනටමත් එම සමාගමේ ඇගලුම් කර්මාන්තශාලා ශ්‍රි ලංකාවට අමතරව අප්‍රිකාව තුළත් ව්‍යාප්තව තිබේ.

ඒ අනුව මෙම රැස්කරගන්නා අරමුදලින් 25%ක් සිය ඇගලුම් නිෂෟපාදන සඳහා අවශ්‍ය රෙදි නිෂ්පාදන කර්මාන්තශාලාවක් වෙත ආයෝජනය කිරීම සැලසුම වී ඇත. එසේම 15%ක් සමාගමේ ඩිජිටල් කටයුතු සංවර්ධනය සඳහාත් යොදවන බව පවසයි. මීට අමතරව ඉතිරි 60%ක ප්‍රතිශතය සමාගමේ පරිපාලිත සමාගම් වෙත යොදවන බව හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පවසයි.

දශක තුනකට අධික කාලයක ඇගලුම් කර්මාන්තයේ අත්දැකීම් සහිත හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම සතුව අද වනවිට ලොව රටවල් 06ක පිහිටි කර්මාන්තශාලා 11ක් පවතී. සමාගම සතු සමස්ත සේවකයන් සංඛ්‍යාව 18,000කට අධිකය.

මෙම කර්මාන්තශාලා අතරින් මූලස්ථානය, නිර්මාණ මධ්‍යස්ථානය සහ කර්මාන්තශාලා 7ක් ශ්‍රී ලංකාවේ පිහිටා තිබේ. එසේම එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිර්මාණ මධයස්ථාන එක බැගින් පිහිටා තිබේ. එක්සත් ජනපදයේද තවත් නිර්මාණ මධ්‍යස්ථානයක් පිහිටා තිබේ.

මීට අමතරව අප්‍රිකාවේ පිහිටි ඉතියෝපියාව සහ කෙන්යාවේ කර්මාන්තශාලා 2ක බැගින්, ටැන්සානියාවේ, මොසැම්බික් යන රාජයයන්හි කර්මාන්තශාලා 1ක බැගින්ද එම සමාගමට අයත්ය. ඊජිප්තුවේ පිහිටාවා ඇති කර්මාන්තශාලාව මේවසරේදී මෙහෙයුම් ආරම්භ කරන බව පවසයි.

ඒ අනුව මෙම මෙහෙයුම් හැකියාවන්දසමගින් එම සමාගම 100%ක්ම ඩොලර් ආදායම් ඉපැයීමක් සිදුකරන සමාගමක් ලෙසත් හඳුන්වා දී තිබේ.

Visits: 1006