මුල් දින දෙකේදී පෝර්ට් සිටිය නැරඹීමට විශාල ජනකායක්

පෝර්ට් සිටිය හෙවත් කොළඹ වරාය නගරයේ ඇවිදින මංතීරුව ඇතුළුව මරීනා බේ ප්‍රදේශය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව උදා කරදුන් පසුගිය සඳුදා දිනයේ සිට ගෙවුණු දින දෙකේදී විශාල ජනතාවක් ඊට පැමිණ ඇතැයි කොළඹ වරාය නගරය පවසයි.

ඒ අතරින් පසුගිය ජනවාරි 10 වැනි සඳුදා දිනයේදී මෙය විවෘත තැබුණු පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පමණක් සාමාන්‍යයක් ලෙස 2,000කට අධික ජනතාවක් ඒ වෙත පැමිණ ඇති අතර, ඊයේ දිනයේදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මෙම වරාය නගරය නැරඹීමට අවස්ථාව සලසා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් ඉකොනොමි ඇන්ඩි බිස්නස් ශ්‍රී ලංකා සිදුකළ විමසීමකට පිළිතුරු දුන් වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා, කොළඹ වරාය නගරය නැරඹීම සඳහා ඉතා ඉහළ ජනතා උනන්දුවක් පවතින බව සඳහන් කළේය.

“සඳුදා දිනයේදී මේ කොළඹ වරාය නගරයේ ඇවිදින මංතීරුව සහ මරීනා බේ අංගනය දැකබලා ගැනීමේ අවස්ථාව විවෘත කෙරුණේ උදේ 10.00ට ඒ මොහොතේ ඉඳන් ඊයේ දිනය පුරාමත් අතිවිශාල සංඛ්‍යාවක් මේ වෙත පැමිණියා. පළමු දිනයේදී පමණක් අපි 2,000ක පමණ පිරිසක් පැමිණෙන්න ඇතැයි විශ්වාස කරනවා. එතැනදී කොළඹ නගරයේ ජනතාවට වගේම පිටපළාත්වල සිට පැමිණි ජනතාවත් කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණ තිබුණා.” යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.

ඒ අනුව ඉදිරි සති අන්ත නිවාඩු දින කිහිපයේදී වරාය නගරය නැරඹීම සඳහා සැලකිය යුතු ජනතාවක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවත් කස්සප සෙනරත්මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඇවිදින මංතීරුව තුළ මෙතෙක් කොළඹ වරාය නගරය ඉදිකිරීමේදී පසුකළ වැදගත් සන්ධිස්ථාන සටහන් කෙරුණු පුවරු කිහිපයක්ම ප්‍රදර්ශනයට තබා තිබේ. එසේම ඇවිදින මංතීරුව කොටසේ සහ මරීනා බේ පරිශ්‍රය තුළදී ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත.

සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා ජනතාවට කොළඹ වරාය නගරය නැරඹීමේ අවස්ථාව පවතින අතර, කොළඹ ගාලු මුවදොර ආසන්නයේ පිහිටි පිවිසුමකින් ඊට ඇතුළු විය හැකිය.

Visits: 326