හුන්නස් ෆෝල්ස් හෝටලය 1:150 ක කොටස් අතුරුබෙදීමක් ප්‍රකාශ කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හුන්නස් ෆෝල්ස් හොටේල්ස් පීඑල්සී (HUNA.N0000) සමාගම අද (ජන 10.) දිනයේදී සිය කොටස් අතුරු බෙදීමක් නිවේදනය කර තිබේ. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ ඇත.

ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් ඡන්ද හිමි කොටස් 150ක් හිමිවන ආකාරයට 1 : 150 අනුපාතය යටතේ මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බව සමාගම පවසයි.

හුන්නස් ෆෝල්ස් හොටේල්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මේ වනවිට එම සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව මිලියන 5.6ක් (5,625,000 කි). ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම එම කොටස් සංඛ්‍යාව කොටස් මිලියන 843ක් (843,750,000ක්) දක්වා  ඉහළ යාම සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම කොටස් නිකුතුව හරහා කිසිදු ලෙසකින්වත් සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවන බවද එම සමාගම දැනුම් දී සිටියි.

මෙහිදී අදාළ කොටස් අතුරු බෙදීමේ යෝජනාව සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවීමට අවශ්‍ය බවත්, එය මීළග අතිවිශේෂ මහා සභා රැස්වීමේදී විශේෂ යෝජනාවක් ලෙස ඉදිරිපත් කරමින් ලබා ගන්නා බවත් සමාගම පවසයි.

මේ අතර තවත් සටහනක් තබන හුන්නස් ෆෝල්ස් හොටෙල්ස් පීඑල්සී සමාගම, ලබන ජනවාරි 13 වැනිදා පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරි පත්වන යෝජනාවක් හරහා දැනට සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය වන රුපියල් 82,500,000ක මුදල රුපියල් 4,254,073,000කින් ඉහළ නංවමින් එය රුපියල් 4,336,573,000ක් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද කටයුතු කරන බවත් එම සමාගම පවසයි.

ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීම ඉහළ දැමුණු ප්‍රකාශිත ප්‍රාග්ධනය අනුව සිදුව තිබෙන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 629