Alliance Finance සමාගමට Dutch Entrepreneurial Development බැංකුවෙන් ඇ.ඩො.මි. 10 ක්

ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් කොම්පැනි පී එල් සී විසින් මෙරට ආර්ථිකයේ ශක්තිය වන සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යාපාර සංවර්ධනය කිරීම වෙනුවෙන් නෙදර්ලන්ත ව්‍යවසාය සංවර්ධන බැංකුව (Dutch Entrepreneurial Development Bank – FMO) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක (රුපියල් බිලියනයකට අධික) දිගුකාලීන මූල්‍ය සැලසුමක් ක්‍රියාත්මක කරනු ලබන බව පවසයි.

ඒ වෙනුවෙන් FMO වෙතින් ලබාගත්  මුදලේ දෙවන වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන  5 ක මුදල ලබාගැනීමට පසුගිය දා කටයුතු කෙරිණි. මෙහි පළමු වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදල එලායන්ස් ෆිනෑන්ස් සමාගම විසින් ලබාගනු ලැබුවේ 2020 වසරේ අගභාගයේ  දී ය.

FMO යූරෝ බිලියන 6.3 ක ආයෝජන වත්කම් සමඟින් රටවල් 85 ක ආයෝජන සහිත,  යුරෝපා කලාපයේ සංවර්ධන බැංකු අතරින්  විශාලතම බැංකුවකි.

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා, සිය අදහස් දක්වමින්, ” මෙය, එලායන්ස් ෆිනෑන්ස් සමාගම මගින් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ වැදගත් සන්ධිස්ථානයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සංවර්ධනය වෙනුවෙන් අප ගෙනයන වැඩ පිළිවෙලේ සාර්ථකත්වයට FMO සමග ඇති කරගත් මෙම සහයෝගීතාව විශාල ශක්තියක්. ඒ වගේ ම මෙම  හවුල්කාරිත්වය Alliance Finance සමාගම  ගොඩනගාගෙන තිබෙන ජාත්‍යන්තර විශ්වසනීයත්වය සඳහා උදාහරණ සපයනවා.  ජර්මනියේ, වටිනාකම මත පදනම් වූ මූල්‍ය ආයතන සඳහා තිරසාර ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICSSVDFI) යටතේ පාලනය වන, බැංකු සහ මූල්‍ය අංශයේ පරිපූර්ණ තිරසාරභාවය වෙනුවෙන් දකුණු ආසියාවේ පළමුවෙන් ම සහතික ලත් මුල්‍ය ආයතනය බවට පත්වීමට එලායන්ස් ෆිනෑන්ස් සමාගම පසුගිය වසරේ දී සමත්  වුණා. ඒ වගේ ම FMO, 2018 වසරේ දී ද එලායන්ස් ෆිනෑන්ස් ආයතනය ට මෙවැනි ම වූ ව්‍යාපෘතියක් සඳහා  සහයෝගය ලබා දුන් නිසා ම මෙම සහයෝගීතාව ආයතන දෙකට ම නුහුරු අත්දැකීමක් නොවන බවත් පැවසිය යුතු ම කරුණක්.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, “FMO මගින් මෙම මූල්‍ය පහසුකම වසර 5 ක් සඳහා ස්ථාවර පොලී අනුපාතයක් යටතේ ලබා දීමට කටයුතු කිරීම අපට ලබා දුන් විශේෂ වරප්‍රසාදයක්. එය එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ ශේෂ පත්‍රයේ වත්කම් සහ වගකීම් පරතරය කළමනාකරණය කිරීමටත් උපකාරී වෙනවා කිවහොත් මා නිවැරදියි.  එලායන්ස් ෆිනෑන්ස් සමාගමට  ගෝලීය වශයෙන් ඉහළ තළයක පවතින මෙවැනි මූල්‍ය පහසුකම් ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම  තිරසාර මූල්‍යකරණය වෙනුවෙන් අපගේ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම පැහැදිලි වෙනවා . ඒ වගේ ම ව්‍යාපාරික වශයෙන් ත්‍රිත්ව ලාභදායීත්ව සංකල්පය වෙනුවෙන්  අප ආයතනය  සිදුකරන සුවිශාල කැපවීම නිරූපණය කරනවා.” යනුවෙන්ද පවසා ඇත.

2017 වසරේ දී එලායන්ස් ෆිනෑන්ස් ආයතනය ‘Karlsruhe resolution’  අත්සන් තබමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර ඇති තිරසාර සංවර්ධන ඉලක්කයන්ට සහ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමට කැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතනය බවට පත් විය. අතිශය අභියෝගාත්මක වූ පසුගිය කාල වකවානුවේ දී පවා එලායන්ස් ෆිනෑන්ස් සමාගම  සිය වාර්ෂික ලාභයෙන් 3% – 4% ක පමණ ප්‍රතිශතයක් සමාජ හා පාරිසරික තිරසාරත්වය  වෙනුවෙන් ආයෝජනය කිරීමට කටයුතු කරයි. ඒ අනුව පරිසරයේ  හා සමාජයේ ප්‍රගමනය සඳහා දායක වන එම වැඩසටහන්වලට  2020/21 මූල්‍ය වර්ෂය තුළ පමණක් එලායන්ස් ෆිනෑන්ස් සමාගම ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 18ක් වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ නිර්මාණය වූ විවිධ අභියෝගයන් හමුවේ වුව ද 2020/21 මූල්‍ය වර්ෂය  අති සාර්ථක කරගැනීමට සමත් වූ  එලායන්ස් ෆිනෑන්ස් සමාගම  පෙර වසරට සාපේක්ෂව ශුද්ධ ලාභයේ ප්‍රශංසනීය වර්ධනයක්  වාර්තා කිරීමට සමත් විය. එමෙන් ම අභියෝගාත්මක කාලවකවානුවල දී ඊට සාර්ථකව මුහුණ දීම සඳහා තමා සතු හැකියාව මනාව පිළිබිඹු කරමින්, කොළඹ  කොටස් නිකුතුව විසින් නිකුත් කරන ලද නවතම කාර්තුමය මූල්‍ය ප්‍රකාශනයන් හි දක්වා ඇති සියලු ම ප්‍රධාන දර්ශකවලට අදාළව ස්ථාවර කාර්ය සාධනයක් පෙන්වීමට එලායන්ස් ෆිනෑන්ස් සමාගම සමත්විය.

2021/22 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේ මූල්‍ය වාර්තා අනුව සමාගමේ මුළු වත්කම රුපියල් බිලියන 38 ඉක්මවමින් 13.8% ක  ශක්තිමත් වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. වාර්තා කරන ලද අක්‍රීය ණය අනුපාතය (NPL)  7.14%ක ප්‍රතිශතය මූල්‍ය ක්ෂේත්‍රය තුළ සාමාන්‍යයන්ට වඩා බෙහෙවින් අඩු අගයක් ගැනීම සහ වාර්තා කළ මුළු ප්‍රාග්ධන අනුපාතය  14.95% ක ප්‍රතිශතයක් ගනිමින් මූල්‍ය ක්ෂේත්‍රය තුළ අවමය වන 11%ට වඩා  වැඩි අගයක් ගැනීම  එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය කාර්ය සාධනය, නිවැරදි උපාය මාර්ග,  නායකත්වය සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අනුගමනය කරන ලද හොඳම භාවිතයන් මනා ලෙස පිළිබිඹු කරයි.

Visits: 145