ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම සඳහා CPC සහ LIOC අතර ගිවිසුම් අත්සන් තැබේ

මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම ඊයේ (06) මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාං ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරුන් මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ. ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර බෙදීයාම මෙහිදී සිදු වන බව රජය පවසයි.

මෙහිදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි 24ක්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම‍ට ටැංකි 61ක් ලෙස සහ ඉන්දියානු ලංකා තෙල් සමාගම වෙත තවත් ටැංකි 14ක්ද ලෙස  මෙම බෙදීයාම සිදු ව තිබේ.

මෙහිදී ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49% ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි.

එහි අධ්‍යක්ෂක මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනෙකුගෙන් ද ලංකා ඉන්දියා තෙල් සමගම විසින් පත් කරන 3 දෙනෙකුගෙන් ද සමන්විත වේ. එමෙන්ම නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසිනි.

ඒ අනුව මෙම ටැංකි 99න් 85කම (24+61=85) පාලනය තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයක් බව රජය පවසයි.

මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් 1920 දශකයේ දී ඉදිකරන ලද්දකි. අක්කර 827 ක වපසරියක විහිදුනු මෙට්‍රික් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත වෙයි.

Visits: 134