Alliance Finance සමාගමට යුරෝපයෙන් ඩොලර් මිලියන 5ක ණයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Alliance Finance Company PLC (AFC) සමාගමට යුරෝපයේ liechtenstein රාජ්‍යයේ පිහිටි EMF Microfinance Fund AGmvK ආයතනයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 5ක ණය පහසුකමක් හිමිව ඇතැයි පවසයි.

පසුගිය දෙසැම්බර් 30 වැනිදා සමාගම වෙත එම මුදල් හිමිවී තිබෙන බව, අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම්දීමට Alliance Finance Company PLC සමාගම කටයුතු යොදා තිබේ.

ලොව පුරා ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ක්ෂුද්‍රමූල්‍ය සහාය දැක්වීම සිදු කරන ආයතනයක් වන EMF Microfinance Fund AGmvK මගින් ශ්‍රී ලංකාවේ සමාගමක් වෙත ණය මුදලක් ලබා දෙන පළමු අවස්ථාව මෙය බවත් සඳහන් වෙයි.

මෙම මූල්‍ය පහසුකම හිමිවීමත් සමගින්ම සිය සමාගමට රට පුරාම ක්‍රියාත්මක ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත අවශ්‍ය මූල්‍ය පහසුකම් වෙත වඩාත් හොඳින් අවස්ථාව ලබා දීමේ හැකියාවක් උදාවන බවත් Alliance Finance Company PLC සමාගම පවසා සිටියි.

මේ අතර Alliance Finance Company PLC සමාගම පසුගිය නොවැම්බර් මාසයේදී නෙදර්ලන්තයේ ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව හෙවත් FMO මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 10ක පහසුකමක් හිමි කරගෙන ඇති බවත්, එයද සමාගමෙහි ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසාය කළඹ සහ තිරසාර මූල්‍ය පහසුකම් සැපයීම සඳහා යොදා ගත හැකි බවත් සමාගම පවසයි.

Visits: 298