NTB කොටස් හිමිකම අඩු කිරීමට JKH සමූහය මහ බැංකුවෙන් යළිත් කල් ඉල්ලයි

ජෝන් කීල්ස් සමූහයට අයත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි (NTB – Nations Trust Bank Plc) කොටස් හිමිකාරීත්වය අඩු කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව මගින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා කල් ලබා දෙන ලෙස එම සමාගම මහ බැංකුවෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තාවෙයි.

පසුගිය 2021 දෙසැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු ආවේක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් ජෝන් කීල්ස් සමූහය වෙත ලිපියක් මගින් මෙලෙස NTB බැංකුව තුළ ඇති එම සමූහයේ කොටස් හිමිකාරීත්වය අඩු කරන ලෙස දැනුම් දී තිබේ.

එම උපදෙස්වලට අනුව 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට ජෝන් කීල්ස් සමූහය සතුව බැංකුව තුළ ඇති කොටස් ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කළ යුතුව තිබී ඇත.

කෙසේ වෙතත් 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට ජෝන් කීල්ස් සමූහය සතු NTB බැංකුවෙහි කොටස් ප්‍රතිශතය 29.48ක් බව එම සමූහයේ උප සභාපති ගිහාන් කුරේ මහතා ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත ඊයේ දැනුම් දී තිබේ.

ඒ අනුව තම සමූහය මහ බැංකුවේ මෙම උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා වන කාලය දිගු කරන ලෙස දැනටමත් ඉල්ලීමක් සිදු කර ඇතැයිද උප සභාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

 “අපි දැනටමත් මෙම කොටස් ප්‍රතිශතයන් අඩු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරිම සඳහා වන කාලය දිගු කිරිමක් සඳහා මහ බැංකුව වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරයන් අපි ඉදිරියේදී නිවේදනයක් මගින් දැනුම් දීමට කැමතියි.” යනුවෙන් එම ලිපියේ සටහන්ව තිබේ.

එසේම 2022 දෙසැම්බර් 31 වැනිදා වන විට එය 15%ක් දක්වා අඩු කළ යුතුව තිබේ.

මෙලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහය සතුව නේෂන්ස්  ට්‍රස්ට් බැංකුවේ ඡන්ද හිමි කොටස් ප්‍රමාණය අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය උපදෙස් ලබා දී තිබෙන බව 2017 වසරේ නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ  බැංකු ආවේක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දැනුම් දී තිබේ.

එහෙත් පසුගිය 2020 වසර දක්වාම මෙම කොටස් ප්‍රතිශතය අඩු කිරීමට ජෝන් කීල්ස් සමූහය අපොහොසත් විය. ඒ අනුව 2020 වසෙර්දීද එම සමූහය මහ බැංකුවෙන් මේ සදහා කාලය ඉල්ලා තිබුණි. එහිදී 2020 දෙසැම්බර් 23 වැනිදා ඊට අනුමැතිය හිමි වූ බවටද ජෝන් කීල්ස් සමූහය නිවේදනයක් මගින් දැනුම් දී සිටියේය.

“පසුගිය 2020 දෙසැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු ආවේක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද ලිපියකට අනුව ජෝන් කීල්ස් සමූහය සතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 29.52%ක් වන ඡන්ද හිමි කොස්ට හිමිකාරීත්වය 2021 දෙසැම්බර් 31 දක්වා පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.” යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව 2021 දෙසැම්බර් 31 වැනිදා වන විට හෝ ඊට පෙර ජෝන් කීල්ස් සමූහය සතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කොටස් ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට සමාගම මෙතෙක් අපොහොසත්ව තිබේ.

Visits: 1159