ලොව නැගී එන ආර්ථිකයන් ඩොලර් සංචිතවලට වඩා රන් සංචිත ගැන උනන්දුවෙන්ලු?

ලොව පුරා නැගී එන ආර්ථිකයන් ඇතුළුව බොහෝ රාජ්‍යයන්හි මහ බැංකු විසින් අද වනවිට සිය විදේශ විනිමය සංචිතය ලෙස එක්සත් ජනපද ඩොලර් මුදල් ඒකකය පවත්වාගෙන යාමට වඩා රන් සංචිත පවත්වාගෙන යාමේ ප්‍රවණතාවක් දැකගත හැකි බව වාර්තා ‍සඳහන් කරයි.

ඒ අනුව ලොව රටවල මහ බැංකු සතු රන් සංචිත ප්‍රමාණය ගෙවුණු වසර 31ක කාලයකදී වාර්තා වූ ඉහළම අගයද පසුගිය 2021 වසරේදී වාර්තා වී තිබෙන අතර, එම කාලසීමාවේදී එක්සත් ජනපද ඩොලර් සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් පහත වැටී තිබෙන බවත් රුසියාවේ රෂියා ටුඩේ පුවත් සේවය මෙහිදී පවසයි.

ලෝක රන් කවුන්සිලයේ දත්ත අනුව ඔවුන් මෙම වාර්තාව සඳහන් කර තිබේ. එම දත්ත අනුව පසුගිය දශකයේදී ලොව මහ බැංකු සිය රන් සංචිත ප්‍රමාණය ටොන් 4,500කින් ඉහළ නංවා ගැනිමට කටයුතු කර තිබේ. ඒ අනුව 2021 සැප්තැම්බර් මාසය වනවිට එම සමස්ත රන් සංචිතය ටොන් 36,000ක් දක්වා ඉහළ නැග තිබේ. මෙය 1990 වසරෙන් පසුව වාර්තා වන ඉහළම රන් සංචිතයද වෙයි. එසේම එය දශකය ආරම්භය හා සැසඳීමේදී 15%ක වර්ධනයකි.

මේ අතර එම කාලසීමාවේදී ලොව තුළ විදේශ විනිමය ඒකකයක් ලෙස ඩොලර් සංචිත පවත්වාගෙන යාම පසුගිය දශකයේදී කැපී පෙනෙන ලෙස පහළ බැස තිබේ.

විශ්ලේෂකයන් සඳහන් කරන ආකාරයට විශේෂයෙන්ම නැගී එන ආර්ථිකයන් සහිත රාජ්‍යයන්හි මහ බැංකු විසින් මේවනවිට සිය සංචිතය එක්සත් ජනපද ඩොලර්හි සිට රන් දක්වා විතැන් කරමින් සිටින බවත්, ඩොලර්-පාදක කමුදල් රෙජීමයක් පිළිබඳ ගෝලීය අවදානය ඉන් පිලිබිඹු වන බවත් ඔවුන් පවසයි.

දත්ත වාර්තාවලට අනුව 2021 මුල් මාස නවයේදී තායිලන්තය රන් ටොන් 90කින්, ඉන්දියාව ටොන් 70කින් සහ බ්‍රසීලය ටොන් 60කින් ලෙස තමන් සතු රන් සංචිතය ඉහළ නංවා ගෙන තිබේ.

විශේෂයෙන්ම 2008 වසරේදී ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුධය අවස්ථාවේදී ලොව මහ බැංකු සහ රාජ්‍ය ආයතන විසින් සිය රන් සංචිත වර්ධනය කරගැනීම ආරම්භ කර තිබේ. එය එක්සත් ජනපද බැඳුම්කරවලින් අරමුදල් ඉවත් කරගැනීමකට හේතු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් වටිනාකම් සහිත වත්කම්වල වටිනාකම් පහත වැටිම සිදුවූ බවත් රෂියා ටුඩේ පුවත් සේවය පවසයි.

එලෙස කාලයත් සමගින් එක්සත් ජනපද ඩොලරය පිළිබඳ වන ආකර්ෂණය හීන වුවත්, රන් මිල තවදුරටත් ශක්තිමත්ව පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි. එහිදී පසුගිය දෙසැම්බර් 30 වැනිදා වනවිට රන් අවුන්සයක මිල එක්සත් ජනපද ඩොලර් 1,806ක් එනම් රුපියල් තුන්ලක්ෂ හැට හය දහසකට අධික වටිනාකමක් ගෙන තිබුණි.

Visits: 536