වැවිලි සමාගම් වටිනාකම් පහළ වැටෙද්දී හෝටල් වටිනාකම් ඉහළට

අද (දෙසැම්බර් 30) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී LOLC සහ සොෆ්ට්ලොජික් සමූහයේ සමාගම් තුළ වටිනාකම් ඉහළ යාම ඊට හේතුව වී තිබේ.

එහෙත් වැවිලි සමාගම් තුළදී ලාභ ඉපැයීම් දැකගත හැකි වීම නිසා වටිනාකම් පහත වැටීම සිදුවිය. ඒ අතරම හෝටල් සමාගම්හි වටිනාකම් ඉහළ යාමක් දැකගත හැකි වී තිබේ. මේ අතර හේලිස් සමූහයේ ලාභාංශ නිවේදන එම සමූහයේ සමාගම් වෙත වැඩි ආකර්ෂණයක් හිමි වීමට හේතු වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි. 

ඒ අනුව අද දිනයේදී ඒකක 11,911.82ත් ඒකක 12,055.18ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 12,019.75ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 29) දිනයට සාපේක්ෂව ඒකක 104.57ක් එනම් +0.88%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+16.1), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+13.3), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (+10.4), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+7.2), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+7.1), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-9.8), ලංකා අයිඕසී පීඑල්සී LIOC (-3.6), හේලීස් පීඑල්සී HAYL (-2.9), ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (-2.7), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.2) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව කොමර්ෂල් බැංකුව, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, රෝයල් සෙරමික්ස්, එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් සහ බුකිට් ඩරාහ් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 7.9%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 125ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 91ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,209.99ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 29) ‍ට සාපේක්ෂව ඒකක 8.44ක එනම් +0.20%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.46ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 29) වාර්තා කළ රුපියල් බිලියන 5.85ට  සාපේක්ෂව 10.5% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.38ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 81.96%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 44.31ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 245.29ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 200.98කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 52.61ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 8.96කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් මෙල්ස්ටා කෝර්ප් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 110ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,622ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 25%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ සහ ප්‍රවාහන සමාගමේ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 896ක සහ රුපියල් මිලියන 817ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 289