ලැයිස්තුගත සමාගම් හතරක කොටස් ගනුදෙනු ජනවාරි 10 සිට අත්හිටුවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් හතරක කොටස් ගනුදෙනු ලබන 2022 වසරේ ජනවාරි 10 වැනිදා සිට අත්හිටුවීමට පියවර ගන්නා බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දී සිටියි.

රීති 7.5 (e) යටතේ 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම යන ලැයිස්තුගතවීමේ රීතීන් වෙත දැක්විය යුතු අනුකූලතාව නොදැක්වීම මෙම තීරණය ගැනීමට හේතුව වී තිබේ.

මෙහිදී අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී (ALHP), සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී (SFL), බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී (BLI) සහ රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී (RGEM) එම සමාගම් හතර වෙයි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 07 වැනිදාට පෙර එම සමාගම් හතර මගින් සිය වාර්ෂික වාර්තාවන් ඉදිරිපත් නොකරන්නේ නම් 10 වැනිදා සිට මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදුකරන බව කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 1307