ලබන වසරේ සිට බලපත්‍රලාභී වාණිජ බැංකුවල වාර්ෂික බලපත්‍ර ගාස්තුව ඉහළට

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා අයකරන වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලබන වසරේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් එම බැංකු වෙත දැනුම් දී තිබේ.

1988 අංක 30 දරණ සංශෝධිත බැංකු පනතේ 8වැනි සහ 76ඩී (6) වගන්තිය අනුව මෙම අයකිරීම් පිළිබඳව මුදල් මණ්ඩලය මගින් මෙම දැනුම් දීම සිදු කෙරී තිබේ.

2021 දෙසැම්බර් 31 වැනිදා වන විට අදාළ බැංකු සතුව ඇති සමස්ත වත්කම් අනුව මෙම මිල ගණන් තීරණය කෙරී තිබේ.

ඒ අනුව මෙරට ක්‍රියාත්මක සෑම බලපත්‍ර ලාභී වාණිජ බැංකුවක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම 2022 ලිත් වර්ෂය සඳහා මෙම ගාස්තු ගෙවිම සිදු කළ යුතුව ඇතැයි මහ බැංකුව පවසයි.

එහිදී 2022 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට පෙර මෙම මුදල් ගෙවිය යුතු බව මෙම නිවේදනයේ සඳහන්ව තිබේ.

මෙහි සඳහන් ආකාරයට සමස්ත වත්කම රුපියල් ට්‍රිලියන 2ක් (බිලියන 2,000ක්) වන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් මගින් වාර්ෂික ගාස්තුව ලෙස රුපියල් මිලියන 38ක් එනම් රුපියල් තුන්කෝටි අසූ ලක්ෂයක් ගෙවිය යුතුව ඇත.

එසේම රුපියල් ට්‍රිලියනයේ සිට ට්‍රිලියන දෙක දක්වා වූ වත්කමක් සහිත බැංකු රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් ගෙවිය යුතුව ඇත.

රුපියල් බිලියන 500 සිට ට්‍රිලියනය දක්වා වත්කම් සහිත බැංකු රුපියල් දෙකෝටි අසූපන්ලක්ෂයක වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතුව තිබේ.

රුපියල් බිලියන 200 සිට බිලියන 500 දක්වා වත්කම් සහිත බැංකු මගින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් සහ වත්කම රුපියල් බිලියන 125 සිට 200 දක්වා පවතින බැංකු එක්කෝටි අසූපන්ලක්ෂයක මුදලක් වාර්ෂික ගාස්තු ලෙස ගෙවිය යුතුව තිබේ.

මීට අමතරව රුපියල් බිලියන 75 සිට බිලියන 125 දක්වා වත්කම් සහිත බැංකු එක්කෝටි විසිපන් ලක්ෂයක වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතුව තිබේ.

වත්කම රුපියල් බිලියන 25 සිට 75 දක්වා වන බැංකු විසින් රුපියල් ලක්ෂ 65ක සහ වත්කම රුපියල් බිලියන 25ට වඩා අඩු බැංකු වාර්ෂික ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 33ක් ගෙවිය යුතුව තිබේ.

මහ බැංකු වාර්තාවලට අනුව අදවනවිට මෙරට තුළ ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සංඛ්‍යාව 24 කි. එසේම බලපත්‍රලාභී විශේෂිත බැංකු සංඛ්‍යාව 06 කි.

අවසන් වරට මහ බැංකුව මගින් බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා බලපත්‍ර ගාස්තු සංශෝධනයක් සිදු කර තිබුණේ 2019 වසරේදීය. ඒ අනුව වසර තුනකට පසුව මෙලෙස එම ගාස්තු ඉහළ නංවා තිබේ.

මීට පෙර පැවැති වර්ගීකරණයට අනුව රුපියල් ට්‍රිලියනයකට වඩා වැඩි වත්කම් සහිත බැංකු මගින් ගෙවිය යුතුව වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් තුන්කෝටි තිස්තුන් ලක්ෂයකි. එසේම රුපියල් බිලියන 700 සිට ට්‍රිලියන 1ක් දක්වා වත්කමක් සහිත බැංකු මගින් ගෙවිය යුතු ගාස්තුව රුපියල් තුන් කෝටි විසි ලක්ෂයකි. රුපියල් බිලියන 500 සිට 750ක් දක්වා වත්කම් සහිත බැංකු දෙකෝටි හැට ලක්ෂයක ගාස්තුවක්ද, රුපියල් බිලියන 200 සිට 500 දක්වා වන බැංකු රුපියල් දෙකෝටි තුන් ලක්ෂයක ගාස්තුවක්ද ගෙවිය යුතුවිය.

එසේම රුපියල් බිලියන 125 සිට 200 දක්වා රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක්ද, රුපියල් බිලියන 75 සිට 125 දක්වා රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක්ද, රුපියල් බිලියන 25ත් 75ත් අතර වත්කමක් සඳහා රුපියල් ලක්ෂ 60ක ගාස්තුවක්ද, රුපියල් බිලියන 25කට වඩා අඩු වත්කමක් සඳහා රුපියල් ලක්ෂ 30ක ගාස්තුවක්ද අය කර තිබුණි.

Visits: 341