විදේශ සංචිත ඉහළ යාමේ නිවේදනය ආයෝජකයන් සෑහීමකට පත් නොකරයි

අද (දෙසැම්බර් 29) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙර දින දෙකටම සාපේක්ෂව සාර්ථක ලෙස නිමා කිරීමට අවස්ථාව හිමි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහිදී වැවිලි සමාගම් සඳහා වන උනන්දුව ඉහළ යාම හේතුවක් වී තිබේ. කෙසේ වෙතත් අද දිනයේදීද සෙංකඩගල ෆිනෑන්ස් සමාගමේ වටිනාකම් දරුණු ලෙස පහත වැටීම සියලු කොටස් මිල දර්ශකය වෙත බලපා තිබේ. මේ අතර විදේශ සංචිත ඉහළ ගිය බවට මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනය ආයෝජකයන් සෑහීමකට පත් කිරීමට අපොහොසත් වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,895.90ත් ඒකක 12,016.12ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,915.18ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 28) දිනයට සාපේක්ෂව ඒකක 7.48ක් එනම් +0.06%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේලීස් පීඑල්සී HAYL (+8.8), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+4.8), එස්එම්බී ලීසිං පීඑල්සී SEMB (+4.24), වැලිබල් වන් පීඑල්සී VONE (+3.8), සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී SINS (+3.5), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (-28.8), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-14.6), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-6.4), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-5.9), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-3.0) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව කොමර්ෂල් බැංකුව, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 17.3%ක දායකත්වයක් එල්ල කර තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 125ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 91ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,201.55ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 28) ‍ට සාපේක්ෂව ඒකක 1.09ක එනම් -0.03%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.85ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 28) වාර්තා කළ රුපියල් බිලියන 5.67ට  සාපේක්ෂව 3.0% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.33ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 80.17%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 126.62ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 511.12ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 384.5කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 52.41ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 26.47කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් මෙල්ස්ටා කෝර්ප් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 440ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,871ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 32%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,134ක සහ රුපියල් මිලියන 708ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 204