විදෙස් සංචිත ඩොලර් බිලියන 3.1ක් වීම මහ බැංකු ස්ථිර කරයි

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත තත්ත්වය අද දිනය වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1ක් දක්වා ළගා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි. විශේෂයෙන්ම මෑත කාලීනව සිදු වූ ලැබීම් සමග මෙම තත්ත්වය ළගා වී තිබේ.

එසේම 2021 වසර අවසන් වන විටද එම සංචිත ප්‍රමාණය එම මට්ටමේම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී සිටියි.

වාර්තා සඳහන් කරන ආකාරයට මෙහිදී චීනයත් සමගින් ඇති කරගත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක විදේශ විනිමය හුවමාරු එකඟතාව යටතේ හිමිවුණු විදේශ මුදල් ලැබීම් මෙලෙස විදේශ සංචිතය ඉහළ යාමට හේතුවක් වී තිබේ.

මහ බැංකුව විසින් පසුගිය දෙසැම්බර් 22 වැනිදාද මේ සම්බන්ධයෙන් අනාවරණය කළ අතර, එම අවස්ථාව වන විට රටෙහි විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 1.6 ක් විය.

“මීට අමතරව සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරිම සඳහා වන සයමාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි, දැනට සාකච්ඡා කරමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම්, 2022 වසරේ ජනවාරි මස ආරම්භයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.” යනුවෙන් මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

මේ අතර විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා ක්‍රමය සහ අපනයන ආදායම් මෙරටට ගෙන්වා ගැනීමේ හා පරිවර්තනය කිරීමේ නීතිරීති වැනි ක්‍රියාමාර්ග නිසාද රටෙහි නිල විදේශ සංචිතය තවදුරටත් ගොඩනැගීමට උපකාර වනු ඇතැයි ද මහ බැංකුව පවසයි.

“සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත්විම සහ අපනයනවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය සමගින් විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඒ අනුව 2022 වසර පුරාවටම විදේශ සංචිත තත්ත්වය හිතකර මට්ටමක පවතිනු ඇති බව රජයේ සහ මහ බැංකුවෙහි විශ්වාසය වෙයි.” යනුවෙන්ද මහ බැංකුව පවසයි.

මේ අතර මහ බැංකු අධිපතිවරයාද අද පෙරවරුවේදී සිය ට්විටර් ගිණුම හරහා රටෙහි විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ නැග ඇතැයි සඳහන් කර තිබුණි.

Visits: 113