පරික්ෂණ අවසන් වන තෙක් ‘සකුරායි ඒවියේෂන්‘ සමාගමේ ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

පසුගිය 27 වනදා කටුනායක ගුවන්තොටුපොල ආසන්නයේ කිඹුලාපිටිය ප්‍රදේශයේ දී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානාව ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා රත්මලාන ගුවන්තොටුපොල වෙත රැගෙන යාමට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

සෙස්නා සමාගමෙහි නිශ්පාදිත C-172 මාඳිළියේ ලියාපදිංචි අංක 4R-GAF දරන මෙම යානාව සීගිරිය ගුවන්තොටුපොලේ සිට කොග්ගල ගුවන්තොටුපොල දක්වා ගුවන් ගමනක නිරතවෙමින් සිටින අතරතුර අදිසියේ ඇතිවූ තත්වයක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොල වෙත ගොඩබැස්සවීමට නියමුවා ගත් උත්සාහයේ දී මෙම අනතුර සිදුවූ බව මූලික විමර්ශණ ඔස්සේ තහවුරු වී ඇත.

මෙම අවස්ථාවේ දී යානාවේ නියමුවා ද ඇතුළුව සිව් දෙනෙකු ගමන් කර තිබූ අතර ඉන් දෙදෙනෙකු ලෙබනන් ජාතිකයන් වේ. ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකිරීමට සිදුවීම වාර්තා වූ අවස්ථාවේදීම යුහුසුළුව කටයුතු කර තිබුණි.

අනතුර සිදුවූ බවට වාර්තා වූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්සේවා පරික්ෂකවරුන් සිය විමර්ශණ කටයුතු ආරම්භ කල අතර එම අනතුරට හේතුව කාර්මික දෝශයක් ද නැතහොත් වෙනත් සිදුවීමක් ද යන්න තහවුරු කරගැනීම සඳහා සාක්ෂි සටහන් කර ගැනීම හා තාක්ෂණික දත්ත ඔස්සේ පරික්ෂා කිරීම ද මේ වන විට සිදුකරමින් පවතී.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂතතා රෙගුලාසි) සමන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කල විමර්ශණ කමිටුවක් විසින් සිදුකරන අතර වෘත්තීය නිපුනතාවයෙන් යුත් ගුවන්සේවා පරික්ෂකවරුන් පිරිසක් එම කමිටුවේ සමාජිකත්වය දරති.

එමෙන්ම දෙසැම්බර් 22 වන දින පුහුණු සැසියක් වෙනුවෙන් කටුකුරුන්ද බලා පියාසර කරමින් සිටිය දී පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබැස්වීමකට ලක්කල C-152 මාදිලියේ පුහුණු ගුවන් යානාව සම්බන්ධයෙන් ද විමර්ශණ කටයුතු සිදුකිරීමට සඳහා ද සිවිල් ගුවන්සේවා අධිකාරිය කමිටුවක් පත්කර ඇත.

මෙම විමර්ශණ කටයුතු නිමවන තෙක් එම ගුවන්යානා දෙකෙහි හිමිකාරීත්වය දැරූ සකුරායි ඒවියේෂන් සමාගමේ සියළු ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්සිටුවීමට 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනතෙහි 38 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා විසින් කටයුතු කර ඇතැයිද එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Visits: 98