ත්‍රිකුණාමලය තෙල් ටැංකි පාලනයට Trinco Petroleum Terminal Ltd නමින් නව සමාගමක්

ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව Trinco Petroleum Terminal Ltd  නමින් නව සමාගමක් ස්ථාපිත කරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සමාගම වෙත දැනට බදු දී තිබෙන ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා රජයට ලැබෙන මුදල පාලනය කිරීමේ අරමුණින් මෙම නව සමාගම පිහිටුවන බව ඇමතිවරයා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

එසේම LIOC සමාගම වෙත බදු දී ඇති තෙල් ටැංකි 99න් බහුතරයක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව එම සාකච්ඡා ඵලදායිව අවසන් කර රජයට අයත් දේපළක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තෙල් සංස්ථාව යටතේ පාලනය කරන Trinco Petroleum Terminal Ltd  සමාගම හරහා රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පරිදි යොදා ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එහිදී එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි විශ්වාසය පළ කරන බවද අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

ත්‍රිකුණාමලයේ චීන වරාය ආශ්‍රිතව පිහිටා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණය දෙවැනි ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය පාලනය විසින් ඉදිකරවූවකි. එහි ගබඩා ටැංකි 99ක් පිහිටා ඇති අතර, ඉන් එක් ටැංකියක කිලෝලීටර් 12,000ක ධාරිතාවක් පවතින බව සඳහන් වෙයි. මේ අතරින් ටැංකි 15ක් LIOC සමාගම මගින් භාවිතයට ගනියි.

Visits: 207