සතියේ දෙවැනි දිනටත් ඉහළ විදේශ ආයෝජන පිටතට ගලායෑමක්

අද (දෙසැම්බර් 28) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී වැවිලි සහ නිශ්චල දේපළ අංශයේ සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යාමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් වටිනාකම්හි පෙන්නුම් කළ ඉහළ පහළ යාම් සියලු කොටස් මිල දර්ශකය වෙත බලපා තිබේ. මීට අමතරව වටිනා සමාගම් තුළ පැවැති ආකර්ෂණය තවදුරටත් එලෙසින්ම පැවැති බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,889.34ත් ඒකක 12,042.08ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,907.70ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 27) දිනයට සාපේක්ෂව ඒකක 100.79ක් එනම් -0.84%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+6.6), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+5.6), කොමර්ෂල් බැංකුව COMB (+2.8), ප්‍රයිම් ලෑන්ඩ්ස් පීඑල්සී PLR (+2.3), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+1.5), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (-46.1), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-18.6), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-11.4), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-5.9), වැලිබල් වන් පීඑල්සී VONE (-5.1) යනාදී සමාගම්ය.

පෙර දිනයේ සිදුකළ සාකච්ඡාවලට අනුව කොමර්ෂල් බැංකුව, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, සිටිසන් ඩිවලොප්මන්ට් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, එල්බීෆිනෑන්ස් පීඑල්සී, අමානා බැංකුව, ලංකා අයිඕසී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 37.3%ක දායකත්වයක් එල්ල කර තිබේ.   

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 95ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 107ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,202.64ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 27) ‍ට සාපේක්ෂව ඒකක 14.79ක එනම් -0.35%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.67ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 27) වාර්තා කළ රුපියල් බිලියන 7.32ට  සාපේක්ෂව 22.5% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.33ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 80.06%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 77.04ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 713.99ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 636.95කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 52.02ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 38.0කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් මෙල්ස්ටා කෝර්ප් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 550.0ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,148ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 20%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,109ක සහ රුපියල් මිලියන 990ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 159