නයිජීරියාවේ, ජර්මනියේ සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල තාවකාලිකව වසා දැමීමට යයි

නයිජීරියාවේ අබුජා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යනාදී  විදේශයන් හි පිහිටි දූත මණ්ඩල/දූත කාර්යාල තුන 2021 දෙසැම්බර් 31 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ අමාත්‍යංශය දැඩි සැලකිලිමත් බවින් යුක්තව තීරණය කර ඇතැයි පවසයි.

“අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත් වූ මෙම තීරණය, විදේශ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සහ දූත කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියක කොටසකි.” යනුවෙන් විදේශ අමාත්‍යාංශය සිය නිවේදනය මගින් සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම ගෝලීය වසංගතය හේතුවෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම තහවුරු කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සුරක්ෂිත කිරීම සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන බව පවසයි.

“මෙලෙස හඳුනාගත් දූත මණ්ඩල / දූත කාර්යාල තුන වසා දැමීමෙන් අනතුරුව, එහි ද්විපාර්ශ්වික දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා මෙන්ම කොන්සියුලර් කාර්යයන් අදාළ පරිදි පවත්වාගෙන යාම ඇතුළුව ඒවායේ අනෙකුත් කාර්යයන් අක්ත ගන්වන ලද රටවල විෂය පථයට යටත් වන අතර, අබුජා සහ නිකෝසියා  හි දූත කාර්යාල නේවාසික නොවන මහ කොමසාරිස් කාර්යාල / ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල විෂය පථයට ඇතුළත් කෙරේ. මේ අනුව, කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා නයිජීරියාව සමගාමීව අක්ත ගැන්වීමටත්, ඊජිප්තුවේ කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නයිරෝබි හි මහ කොමසාරිස් කාර්යාලය මගින් අබුජා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා අප්‍රිකාව තුළ සමගාමීව අක්ත ගන්වා ඇති අනෙකුත් රටවල් සමගාමීව අක්ත ගැන්වීමටත් මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්යයන් මෙන්ම, ෆ්‍රෑන්ක්ෆර්ට් නුවර සහ ඒ අවට ජීවත්වන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ කොන්සියුලර් කටයුතු ජර්මනියේ බර්ලින් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විෂය පථයට ඇතුළත් වනු ඇත.” යනුවෙන් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

එසේම ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සයිප්‍රසය සමගාමීව අක්ත ගැන්වීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, සයිප්‍රසය සමඟ ශ්‍රී ලංකාව පවත්නා ද්විපාර්ශ්වික සබඳතා මේ වන විට අනුගමනය කරන ක්‍රමවේදයට අනුව ඉතාලිය විසින් මෙහෙයවනු ලැබේ. නිකෝසියා හි කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මෙහෙයවනු ලබන කොන්සියුලර් කටයුතු රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විෂය පථයට ඇතුළත් කෙරේ. 

කෙසේ වුවද, සයිප්‍රසයේ වෙසෙන සහ එහි සේවය කරන ආසන්න වශයෙන් 6,000 ක් පමණ වන ශ්‍රී ලාංකික සේවක ප්‍රජාව යොමු කරන, නිතිපතා අවධානය යොමු කළ යුතු කොන්සියුලර් කටයුතු  සහ සුබසාධන අවශ්‍යතා සැලකිල්ලට ගෙන, නිකෝසියා කේන්ද්‍ර කර ගත් සුදුසුකම් සහිත නිර්වේතනික කොන්සල්වරයකු පත් කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.

“මෙලෙස පත් කරනු ලබන නිර්වේතනික කොන්සල්වරයා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ විදේශ අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය  සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය  සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු  කරනු ඇත. ගැටළු නිරාකරණය කිරීම සඳහා විදේශ අමාත්‍යංශය සයිප්‍රසයේ මෙම සංක්‍රාන්ති ක්‍රියාවලිය සමීපව අධීක්ෂණය කරන අතර, අදාළත්වය සහ අවශ්‍යතාව අනුව ඒවාට විසඳුම් ලබා දීමට නුදුරු අනාගතයේ දී කටයුතු කරනු ඇත.”

වියදම් කපා හැරීමේ ක්‍රියාමාර්ග ද නොතකා අපනයන ප්‍රවර්ධනය, සෘජු ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා උත්පාදනය යනාදිය ඇතුළත් ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රජයේ විදේශ ප්‍රතිපත්ති අරමුණු සපුරාලීම සඳහා ප්‍රශස්ත මට්ටමින් සියලුම රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමට විදේශ අමාත්‍යංශය ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් පවසයි.

එසේම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් සෘජුව සහ සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බැවින්, ඔවුන්ගේ සුබසාධනය සහ ඵලදායී ක්‍රියාකාරීත්වය සුරක්ෂිත කිරීමේ වගකීම පිළිබඳව අමාත්‍යංශයේ ඉහළ අවධානය යොමු වී ඇතැයිද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල/ විදේශයන් හි දූත කාර්යාලවල ප්‍රධානීන් මෙන්ම මුදල්, වෙළඳ සහ කම්කරු අමාත්‍යංශය, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යංශය සහ විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ආදී අනෙකුත් රේඛීය ආයතන සම්බන්ධ කරගනිමින් අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන්ම උපදේශන ක්‍රියාවලියක් පැවැත්වීම තුළින් විදේශ අමාත්‍යංශයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා  දූත මණ්ඩල/දූත කාර්යාලවල අවශ්‍යතා  පිළිබඳ අඛණ්ඩ ඇගයීමක් සිදු කරනු ලැබේ.

මෙලෙස හඳුනාගත් දූත මණ්ඩල / දූත කාර්යාල තුන තාවකාලිකව වසා දැමීමේ තීරණය අඛණ්ඩ සමාලෝචනයට යටත් වන අතර, අවශ්‍යතාව අනුව අදාළ නේවාසික දූත මණ්ඩල / දූත කාර්යාල නැවත ස්ථාපිත කිරීම සලකා බැලීමට ඉදිරියේ දී කටයුතු කරනු ලබන බවත් විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 56