ගුවන් යානයකින් තනිවම ලොව වටා යන ගමනේදී අද කොළඹට ආ ‘සාරා‘

ගුවන් යානයක නැගී තනිවම ලොව පුරා පියාසර කළ ලාබාලතම කාන්තාව බවට පත්වීමේ අරමුණින් පියාසැරියේ යෙදෙන තරුණ ගුවන් නියමුවරියක වන සාරා රදර්ෆෝර්ඩ් අද දිනයේදී රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

සිය ලෝක සවාරිය යටතේ ඉන්දුනීසියාවේ බණ්ඩා අචේ සිට ඇය මෙලෙස ශ්‍රී ලංකාවේ රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මෙය ඇගේ ගමනේ 56 වැනි නැවතුම් පොළ ලෙසත් සැලකෙයි.

බ්‍රිතාන්‍ය-බෙල්ජියානු සම්භවයක් සහිත සාරා පසුගිය අගෝස්තු 18 වැනිදා සිය ලෝක වාර්තාව තැබීමේ මෙම පියාසැරිය ආරම්භ කර තිබේ. එහිදී ඇය බෙල්ජියමේ පිහිටි Kortrijik-Wevelgem ගුවන් තොටුපොළෙන් සිය ගමන අරඹා ඇත.

මෙම ගමනේ සමස්ත දුර කිලෝමීටර් 51,000කි. මෙහිදී ඇය bespoke Shark ultralight මාදිලියේ ගුවන් යානයක නැගී මෙම නව වාර්තාව සිදු කිරිමට සැලසුම් කර තිබේ.

මෙම පියාසැරියේදී ඇය මහාද්වීප පහේ පිහිටි රාජ්‍යයන් 52ක් පසුකරමින් නත්තල් දිනයේදී සිය ගමන සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටියාය. එහෙත් විවිධ හේතු නිසා එය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

එහෙත් ඊට බලාපොරොත්තු වූ කාලයට වඩා කාලයක් ගත වූ අතර දැන් ඇය 2022 ජනවාරි මැදදී සිය ගමන සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරයි.

Visits: 195