උඩුපුස්සැල්ලාව සහ හපුගස්තැන්න වැවිලි සමාගම් මිලදී ගත්තේ බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස්ලු

පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිදුකළ ගනුදෙනුවක් හරහා උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (UDPL.N0000) සමාගමේ සහ හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (HAPU.N0000) යන වැවිලි සමාගම් මිලදී ගත්තේ බ්‍රවුන්ස් සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම (BPHPL) බව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම අනාවරණය කරයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙ වෙත ලිපියක් මගින් එම සමාගම මෙම කරුණු සඳහන් කර තිබේ. සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඉෂාර නානායක්කාරගේ සභාපතිත්වයෙන් යුත් LOLC සමූහයේ ආයෝජන හස්තය ලෙස බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මෙම වැවිලි සමාගම් සඳහා මුදල් ආයෝජනය කර තිබුණි.

ඒ අනුව මෙම ගනුදෙනුව හරහා බ්‍රවුන්ස් සමූහයට අයත් බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම උඩුපුස්සෑල්ලාව සහ හපුගස්තැන්න යන වැවිලි සමාගම්හි කොටස් ප්‍රතිශතයෙන් පිළිවෙලින් 90%ක් බැගින් අත්පත් කරගෙන ඇතැයි පවසයි.

මෙහිදී උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 17‍්,458,966ක් කොටසක් රුපියල් 42.00ක් බැගින් මිලදී ගෙන ඇති අතර හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීල්සී සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 41,680,942ක් කොටසක් රුපියල් 28.30ක් බැගින් මිලදී ගෙන තිබේ.

මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.9ක් වූ බව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පසුගියදා අනාවරණය කර තිබුණි.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 52.50ක් ලෙස ඉහළ ගොස් තිබූ අතර හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 33.80ක් ලෙස ඉහළ නැග තිබුණි.

එක්සත් රාජධානියේ පිහිටි Finlays සමාගම මෙම වැවිලි සමාගම් දෙකෙහි හිමිකරුවන් විය. ශ්‍රී ලංකාව තුළ වැවිලි ව්‍යාපාරය අත්හරිමින් එම සමාගම අදාළ වැවිලි සමාගම් බ්‍රවුන්ස් සමාගම වෙත අලෙවි කර තිබුණි.

මෙම බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මීට පෙර FLC Power Holdings සමාගම ලෙස නම් කෙරී තිබුණි.

Visits: 815