CSE සහ පාකිස්තාන කොටස් හුවමාරුව අතර අවබෝධතාවකට අත්සන් තැබීම හෙට

ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ පාකිස්තානයේ කොටස් හුවමාරුව සමාගම (PSX) අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් තැබීම හෙට (දෙසැ.27දා) සිදුවීමට නියමිත බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

දෙරටේ කොටස් හුවමාරු අතර සහයෝගිතාව ඇති කරගැනීමේ උත්සාහයක අවස්ථාවක් ලෙස මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවන බව පැවසෙයි.

එසේම මෙම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂිත අතථ්‍ය සීනුව නාද කිරීමේ අවස්ථාවක්ද සංවිධානය කරන්නට කොළඹ කොටස් හුවමාරුව සහ පාකිස්තාන කොටස් හුවමාරුව කටයුතු යොදා තිබේ. එය හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 10.55ට සිදුවීමට නියමිතව ඇත.

1947 වසරේ සැප්තැම්බර් මාසයේ 18 වැනිදා පිහිටවුණු පාකිස්තාන කොටස් හුවමාරුවේ මූල්‍යස්ථානය කරච්චි නුවර පිහිටා තිබේ. එය කරච්චි කොටස් හුවමාරුව ලෙස හැඳින්වෙයි. එසේම ඉස්ලාමාබාද් සහ ලාහෝර් යන නගරවලද කොටස් හුවමාරු වේදිකා ක්‍රියාත්මක විය. අනතුරුව 2016 ජනවාරි 11 වැනිදා සිට මෙම කොටස් හුවමාරු තුන එකතු කරමින් පාකිස්තාන කොටස් හුවමාරුව බිහි විය.

පසුව 2016 දෙසැම්බර් මාසයේදී පාකිස්තාන කොටස් හුවමාරුවෙහි 40%ක ප්‍රතිශතයක් චීනයේ සමාගම් කිහිපයක් සහ පාකිස්තානයේ හබීබ් බැංකුව එක්ව මිලදී ගැනීම සිදු විය. ඒ අනුව චයිනා ෆයිනෑන්ෂියල් ෆියුචර්ස් එක්ස්චේන්ග් සමාගමට 17%ක්, ෂැන්ග්හයි ස්ටොක් එක්ස්චේන්ජ් සමාගමට 8%ක්, ෂෙන්ෂෙන් ස්ටොක් එක්ස්චේන්ජ් සමාගමට 5%ක්, පාකිස්තාන චයිනා ඉන්වෙස්ට්ටර් කම්පැනි සමාගමට 5%ක් සහ හබීබ් බැංකුවට 5%ක් ලෙස මෙම හිමිකාරීත්වය බෙදී ගොස් තිබේ. 60%ක ප්‍රතිශතයක් දේශීය සහ විදේශීය ආයෝජකයන් සතුය.

පසුගිය දෙසැම්බර් 10 වැනිදා වනවිට එම කොටස් හුවමාරුවෙහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය පාකිස්තාන රුපියල් ට්‍රිලියන 7,900න් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 49ක් ලෙස සටහන්ව තිබේ.

Visits: 1613