විදේශ සේවා නියුක්තික ප්‍රේෂණ සඳහා වන රු.10ක අතිරේක දිරි දීමනාව ජනවාරියේදීත්

විදේශ සේවා නියුක්තිකයන් මගින් මෙරටට ප්‍රේෂණය කරන සෑම ඩොලරයක් සඳහාම රුපියල් 10ක අමතර දිරිදීමනාවක් ලබා දීමේ යෝජනා ක්‍රමය ජනවාරි මාසයේ 31 වැනිදා දක්වා දිග් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් සලකා බලමින්, මෙම යෝජනා ක්‍රමය යටතේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා රුපියල් 2.00ක දිරි දීමනාවක් ලබාදුනි. එසේම බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට ප්‍රේෂණය කර ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහා තවත් අමතර රුපියල් 8.00ක් ලබාදීමටත් මහ බැංකුව දෙසැම්බර් මාසය ආරම්භයේදී පියවර ගත්තේය.

එම කාලය දෙසැම්බර් 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබේ. ඒ අනුව ජනවාරි 31 වැනිදාත් දක්වා දිග්කෙරී ඇත්තේ එම යෝජනාවයි.

“2021 දෙසැම්බර් මස මේ දක්වා විදේශීය ප්‍රේෂණවල පෙන්නුම් කරනු ලැබූ හිතකර වර්ධනයට ප්‍රතිචාර වශයෙන් රුපියල් 10.00ක් වූ මෙම අතිරේක දිරි දීමනාව ඉහත දැක්වූ පරිදි දීර්ඝ කිරීමට තීරණය කරන ලදි.” යනුවෙන් මහ බැංකුව පවසයි.

Visits: 136