Finlays සමාගමට අයත් වැවිලි සමාගම් දෙකම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මිලදී ගනී

LOLC සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම එක්සත් රාජධානියේ පිහිටි ෆින්ලේ මවුසමාගමට අයත් ජේම්ස් ෆින්ලේස් ප්ලාන්ටේෂන් හෝල්ඩිංග්ස් (ලංකා) සමාගම යටතේ ක්‍රියාත්මක වැවිලි සමාගම් දෙකක හිමිකාරීත්වය අත්පත් කරගත් බව පවසයි.

පසුගිය දෙසැම්බර් 22 වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, මෙහිදී එම සමාගමට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගම් දෙකක් වන උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (UDPL.N0000) සහ හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (HAPU.N0000) යන සමාගම් මෙලෙස අත්පත් කරගැනීම සිදුව තිබේ.

එම ගනුදෙනුකාර සමාගම් සඳහන් කරන ආකාරයට මෙහිදී වැවිලි සමාගම් දෙකෙහිම  පිළිවෙලින් 90%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කටයුතු යොදා තිබේ. මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.9කි.

එසේම ඉදිරියේදී එම වැවිලි සමාගම් දෙකෙහි ඉතිරි 10%ක කොටස් ප්‍රතිශතයන්ද මිලදී ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන බවත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ වසරේ මාර්තු 31 වැනිදා වනවිට උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 90%ක ප්‍රතිශතයක් ජේම්ස් ෆින්ලේ ප්ලාන්ටේෂන්ස් හෝල්ඩිංග්ස් (57.78%), ජේම්ස් ෆින්ලේ ලිමිටඩ් (19.02%) එක්සත් රාජධානිය සහ ජේසී ට්‍රස්ට් සර්විසස් (පෞද්) සමාගම (13.20%) යන සමාගම් වෙත හිමිව තිබුණි.

එසේම එම දිනය වනවිට හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 90%ක ප්‍රතිශතයක් ජේම්ස් ෆින්ලේ ප්ලාන්ටේෂන්ස් හෝල්ඩිංග්ස් (58.87%), ජේම්ස් ෆින්ලේ ලිමිටඩ් (21.06%) සහ ජේසී ට්‍රස්ට් සර්විසස් (පෞද්) සමාගම (10.07%) යන සමාගම් වෙත හිමිව තිබුණි.

මෙම අලෙවි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එක්සත් රාජධානියේ ෆින්ලේස් සමාගම මෙම ගනුදෙනුව ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ වෙනු ඇතැයි සඳහන් කර තිබේ. එසේම අද වනවිට මෙම අත්පත් කරගැනීමත් සමගින්ම උඩුපුස්සැල්ලාව සහ හපුගස්තැන්න යන වගුසමාගම් වෙත අයත් තේ වගාබිම් 30ක් සහ තේ සැකසුම් මධ්‍යස්ථාන 20ක හිමිකාරීත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත හිමිවෙයි.

Visits: 756