කොමර්ෂල් බැංකුව, බිස්නස් ටුඩේ ‘Top 40’ වර්ගීකරණයේ ඉහළම ස්ථානය ලැබූ බැංකුව වෙයි

‘බිස්නස් ටුඬේ’ සඟරාව විසින් සිදුකළ 2020-21 වසරේ ශ‍්‍රී ලංකාවේ ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී සුපුරුදු පරිදිම බැංකු අතර ඉහළම ස්ථානය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. මෙම වර්ගීකරණයට පළමු වරට මෙවර සමාගම් 40 ක් ඇතුළත් වූ අතර එහි සමස්තයක් ලෙස තුන්වන ස්ථානය කොමර්ෂල් බැංකුවට හිමි විය. 

‘බිස්නස් ටුඬේ’ විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 05 අතරට අඛණ්ඩව තෝරාගත් 13 වන වසර මෙය වන අතර 2021 දෙසැම්බර් මාසයේදී නිකුත් කළ නවතම වර්ගීකරණයට අනුව කොමර්ෂල් බැංකුවට ලකුණු 33.05 ක් ‘බිස්නස් ටුඬේ’ විසින් ලබාදී ඇත.

මෙහිදී, 40 වන ස්ථානය දිනාගත් සමාගම ලකුණු 7.35 ක් ලබාගත් අතර පළමු ස්ථානය ලබාගත් සමාගම ලකුණු 37.25 ක් හිමිකර ගෙන තිබේ.

2020-21 වසරේ කොමර්ෂල් බැංකුවේ කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් ’බිස්නස් ටුඬේ’ සඳහන් කරන්නේ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතාගේ විචක්ෂණශීලී නායකත්වය තුළින් කොමර්ෂල් බැංකුව වසරක් තුළ මෙතෙක් ලබාගත් ඉහළම තැන්පතු වර්ධනය ලබාගැනීමට සමත්ව තිබෙන බවත් ඒ තුළින් බැංකුවේ සමස්ත වත්කම් පදනම වැඩිවී තිබෙන බවයි. එසේම, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකුව විසින් බදු වලට පසුව රුපියල් බිලියන 16 ක ලාභයක් ලබා තිබෙන බවත් වසර අවසන් වනවිට වසරක් තුළ ලබාගත් ඉහළම තැන්පතු වර්ධනය ලෙස තැන්පතු රුපියල් බිලියන 212 කින් වර්ධනය වී තිබෙන බවත් සඟරාව සඳහන් කරයි. මේ අනුව, බැංකුවේ තැන්පතු රුපියල් ටි‍්‍රලියන 1.265 ක් දක්වා වර්ධනය වී තිබීම හමුවේ බැංකුවේ සමස්ත වත්කම් 25.15% කින් වර්ධනය වී රුපියල් ටි‍්‍රලියන 1.736 ක් බවට පත්ව තිබේ. 

කොමර්ෂල් බැංකුව විසින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සහ ක්ෂුද්‍ර ව්‍යාපාර වලට සහයෝගය දැක්වීම ප‍්‍රමුඛතාවයක් කරගනිමින් ජාතික ආර්ථිකය නැංවීම සඳහා විශාල සහයෝගයක් ලබාදෙන බව මෙහිදී ‘බිස්නස් ටුඬේ’ සඳහන් කර ඇත. කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව දැවැන්ත ණය යෝජනා ක‍්‍රම 02 ක් ආරම්භ කර තිබෙන බවත් කොවිඩි-19 සහන ණය වැඩිපුරම ලබාදුන් පුද්ගලික අංශයේ බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබෙන බවත් මෙහිදී මෙම සඟරාව පවසා තිබේ. 

‘වැදගත් දේශීය බැංකුවක් ලෙස ජාතික ආර්ථික සංවර්ධන ක‍්‍රියාමාර්ගයන් සමග එක්වෙමින් ඒවාට සහයෝගය දක්වමින් විශාල කාර්ය භාරයක් බැංකුව සිදුකරනවා. කොවිඞ්-19 වසංගතයෙන් යථාතත්ත්වයට පත්වීමේ ක‍්‍රියාවලියේදී අගතියට පත්වූ අංශයන්ට කාර්ය ප‍්‍රාග්ධන ණය සහ සහන ලබාදෙමින් පුද්ගලික බැංකු අතරින් ප‍්‍රමුඛතම සහ කැපී පෙනෙන දායකත්වයක් කොමර්ෂල් බැංකුව දක්වා තිබෙනවා. බැංකුවේ මූල්‍ය ආධාර වැඩසටහන යටතේ වසංගතයෙන් පීඩාවට පත් කර්මාන්ත සහ පුද්ගලයින්ට සහයෝගය ලබාදීම සඳහා විවිධ අංශ 11 ක් යටතේ වැඩසටහන් ක‍්‍රියාත්මක කළා. මේ අනුව, රජය විසින් නියම කළ ණය සහන කාල සීමාවක් ලබාදීමෙන් ඔබ්බට ගොස් කොමර්ෂල් බැංකුව විසින් මෙම සහන ලබාදී තිබෙනවා,’ යනුවෙන් ‘බිස්නස් ටුඬේ’ වැඩිදුරටත් වාර්තා කර ඇත.

Visits: 99