ඉතිහාසයේ පළමුවරට ASPI 12,000 සිමාව ඉක්මවයි

අද (දෙසැම්බර් 24) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙර දිනයේදී මෙන් ඉතා හොඳ සාර්ථකත්වයකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය අයත් (සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්, සොෆ්ට්ලොජික් කැපිටල්, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී) සහ තවත් ඉදිරියේදී වටිනාකම් ඉහළ යා හැකි සමාගම් කිහිපයක කොටස් වටිනාකම් ඉහළ ගොස් තිබේ.

මේ තත්ත්වයත් සමගින්ම දිනය නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය එතෙක් මෙතක් වාර්තා කළ ඉහළම අගයට පත් වෙමින් අද දිනයේදී ඒකක 12,000 සිමාව පසු කිරීමට සමත් විය. කෙසේ වෙතත් රටෙහි ආර්ථිකය පිළිබඳව පවතින කණස්සල්ල ආයෝජකයන් තුළ තවදුරටත් කල්පනාකාරීබව ඉහළ දැමීමට හේතු වී ඇතැයිද කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,951.23ත් ඒකක 12,070.68ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,951.23ක් බවට පත්විය. එය පසුගිය ඊයේ (දෙසැම්බර් 23) දිනයට සාපේක්ෂව ඒකක 119.45ක් එනම් 1.00%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (+48.2), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (+11.2), රෝයල් සෙරමික්ස් (ලංකා) පීඑල්සී RCL (+4.7), එස්.එම්.බී. ලීසිං පීඑල්සී SEMB (+4.2), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+4.3), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-7.4), ශ්‍රීලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-4.4), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.7), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.4), ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටිස් පීඑල්සී AHPL (-1.2) යනාදී සමාගම්ය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 134ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 61ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,253.83ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 23) ‍ට සාපේක්ෂව ඒකක 4.25ක එනම් +0.10%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.84ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 23) වාර්තා කළ රුපියල් බිලියන 6.62ට  සාපේක්ෂව 57.1% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.4ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 82.51%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 35.67ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 67.67ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 31.99කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.93ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.77කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලංකා අයිඕසී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 19.85ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 534ක් සඳහා රක්ෂණ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 19%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ බලශක්ති අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 472ක සහ රුපියල් මිලියන 424ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 177